මල්ලිගෙ ෆුල් බොඩි චෙකප් එක...

{ Tuesday, August 18, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.mortonmedical.co.uk/Seca_CT8000i_ECG_Mach.
අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේක වුනේ මගෙ නෑදෑවෙන මල්ලි කෙනෙකුට. මේ කතාවෙ කියවෙන්නේ හරිම ප්‍රසිද්ධ, නම කීව ගමන් කවුරුත් පාහෙ දන්න ප්‍රයිවෙට් හොස්පිටල් එකක් ගැන. මේකයි කතාව,
ඔය මල්ලිට කැස්සක් හැදිල ඒක මාස දෙක තුනක්ම තිබිල තියනව. ඉතින් මනුස්සයත් ටිකක් කල් මේක ගනන් ගන්නෙ නැතුව ඉඳල, බැරිම තැන වෙන්ඩ ඇති බෙහෙත් අරන් තියනව. ඒව බීලත් මේ කැස්ස අඩුවෙලා නෑ. ඊට පස්සෙ සුපුරුදු විදියට තව දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ඇරන්..ඒත් අඩු වෙච්චිනැති හින්ද, මිනිහ මට මේක කිවුව. මම ඉතින් මලයගෙ කැරැට්ටුව දන්න නිසා ගත්කටටම කිවුව
"මල්ලි සිගරට් බොන එක නතර කරන්න වෙයි..ඛ්‍රොන්කයිටිස් ( පෙනහලු නාල වල ඇතිවෙන ඉදිමුමක්/ආසාදනයක් ) වලට වගේ ඇවිත් ඇති ඒකයි අඩුවෙන්නෙ නැත්තෙ, කෝකටත් මාව හම්බෙන්න එන්නකො" කියල. මොකද මනුස්සය හරියට සිගරට් බොනව කියල මම දන්නව. මිනිහත් ඒක පිළිගත්ත. කොහොම කොහොම හරි සතියක් විතර ගියා..මෙන්න දවසක් උදේම මට මනුස්සය කෝල් කරල කියනව, "අයිය, මම දැන් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නෙ". කියල.
මට පුදුම හිතුන, ඇයි යකඩො කැස්සට කවුද ෆුල් බොඩි චෙකප් කරන්නෙ කියල. මම මුකුත් කිවුවෙ නෑ..ඇයි ඉතින් මෙයා යන්න එළියටත් බැහැලනෙ මට කිවුවෙ. දැන් එපා කියන්නෙ කොහොමද?.
කෝකටත් මම ඇහුව යන්නෙ මොන හොස්පිටල් එකටද කියල, සු**** ටලු. හ්ම්....ඒවට ගෙවන්නෙ එයාගෙ කොම්පැණියෙන්ලු. ආ..මට කියන්න බැරි වුනානෙ මලය වැඩකරන්නෙ ප්‍රයිවෙට් කොම්පැණියක, පාරිභෝගික සේවා අන්ශෙ.
ඔන්න ඉතින් මනුස්සය
හොස්පිටල් ගියා..මාත් ඉතින් වැඩට ආව. හවස් ජාමෙ ඔන්න ආයෙ කෝල් එකක්. මිනිහ අඬ අඬා වගේ මට කියනව,
"අයිය මගෙ ලේ වල සීනි වැඩියිලු..අද නවතින්න කිවුව.: කියල. මමත් මනුස්සයගෙ හිත හදල, ආව එකේ ඉඳල ඉතිරි පරීක්ෂනත් කරගෙනම එන්න කීව.
ඔන්න එදා දවස ඉවරයි.........පහුවදා..මල්ලි කියනව..අනේ අයිය මගෙ ඊ.සී.ජී (E.C.G.)එක හොඳ නෑලු. අදත් ඉන්න කිවුව, හෙටලු Cardiologist එන්නෙ.
මට මේ සිද්දිය එච්චර ඇල්ලුවෙ නෑ. මොකද අවුරුදු විස්සක විතර මෙයාට, අනික මේ හොඳට මහන්සිවෙලා දුවල පැනල ඉන්න කොල්ලට මේ මොනාද තියනව කියන ලෙඩ..!
මම සු**** හොස්පිටල් එකට කෝල් එකක් ගත්ත. ඇහුව ලෙඩාගෙ තත්වෙ. එතෙන්දි..එහෙන් කියනව
"සර්..මේ ලෙඩාට Diabetic තියනව, ටිකක් සීරියස් පපුවෙ අමාරුවකුත් තියනව.හෙට
Cardiologist ට පෙන්නන්න දාල තියෙන්නෙ. Echo Cardiogram (හාට් එක බලන්න කරන පරීක්ෂණයක්) එකකුත් කරනව හෙට.." කියල..
මම මාව අඳුන්වල දීල, රිපෝට්ස් වල තත්වෙ ඇහුව. ඒව ටිකක් යන්තමින් කිවුවට මට තේරුනා කතාකරපු ගෑනිට, ඒවයෙ මෙලෝ හසරක තේරුමක් නෑ කියල.
මට තේරුණා මෙතන මොකක් හරි ගැටයක් යන විත්තිය. මම මල්ලිගෙ ගෙදර අයත් එක්ක කතා කරල, තීරණයක් ගත්ත, බලෙන් ටිකට් කපවගෙන එන්න. මොකද ඒ වෙද්දි මල්ලි හොඳටම මානසිකව වැටිලයි හිටියෙ. මට ඇත්තටම බයත් හිතුන මෙයාට Depression (මානසික රෝගයක්)හැදෙයි කියල. ඇයි අප්ප මේ හොඳට හිටිය එකාට මෙච්චර ලෙඩ ගොඩක් කියනකොට.
ටිකට් කපාගන්න යනකොටත් එයාල කැමති වෙලා නෑ. අන්තිමට බලෙන්ම බිල ගෙවල ඇවිත්..වැඩිය නෑලු 25000 යි. ටෙස්ට් දෙක තුනකට..!පුහ්..!
ගෙදර ආවට පස්සෙ මිනිහ ඔන්න මාව හම්බවෙන්න එනව, හොස්පිටල් එකට...මෙච්චර කල් කට කැඩෙනකල් කීවත් ආවෙ නෑ..ඔන්න දැන් තමා දුප්පත් අපේ රෝහල මතක් වුනේ.
ආව ගමන් මම ලේ වල සීනි (R.B.S.) එකක් බැලුව..අනේ කිසි අවුලක් නෑ. ඊ.සී.ජී (E.C.G.)එකකුත් ඇරන් ඩොක්ටර්ට පෙන්නගත්ත..ඉහෙන් බහින හෙනයක් නෑ මූට.
ඕන්න තත්වෙ...ඒක නෙවෙයි හොඳම කතාව, මල්ලි ගියෙ කැස්සට බේත් ගන්නනෙ. ඒත් තාම කැස්ස අඩු නෑ. අඩු තරමෙ කැස්සට කරන එක පරීක්ෂනයක් වත් කරලත් නෑ. හෙන ගහන්න එපාද මුන්ට..!
ඊට පස්සෙ අපේ හොස්පිටල් එකෙන්ම කැස්සටත් බෙහෙත් ඇරන් දුන්න.
යාලුවනේ ඔන්න ඕකයි අපේ රටේ රෝහල් මුදලාලිලාගෙ තත්වෙ. කඩාගන්න පුලුවන් තැනින් කුට්ටිය කඩාගන්නව ලෙඩ දාහක් විතර පටවල. හැකි හැම වෙලාවකම අපේ රජයෙ රෝහලකට යන්න. එහෙම නැත්නම් නිකම් ලෙඩ්ඩු වෙලා..මුදලාලිල පෝසත් කරන්න තමයි වෙන්නෙ.කොහොමත් නැති ලෙඩට බෙහෙත් බොනකොට නිකම්ම ලෙඩ්ඩු වෙනවනෙ.
ඉතින් බයටම මලයා සිගරට් බොන එකත් නවත්තල, දැන් කැස්සත් නෑ..ආයෙ අර හොස්පිටල් එක පැත්ත බලාගෙන නිදියන්නෙවත් නෑලු....!

අදහස් 31 ක් තියෙනවා "මල්ලිගෙ ෆුල් බොඩි චෙකප් එක..." ට

අනෙ ඔව් අය්යා , ඔය ප්‍රයිවට් හොස්පිටල් ගැන නම් කතා කරල වත් වැඩක් නෑ.... ඔක්කොම එකයි !

ඔවු..කලුකඩ කාරයෝ

මචං මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා. මම දැකලා තියන විදිහට රජයේ රෝහල්වල වැඩිහරියක් නර්ස්ලා, ඇටේන්ඩන්ලා ලෙඩ්ඩුන්ට කතා කරන්නේ, සලකන්නේ බල්ලොන්ට වගේ. එකයි මිනිස්සු ප්‍රයිවට් ඒවාට යන්නේ.

[said]
ඉතින් බයටම මලයා සිගරට් බොන එකත් නවත්තලා
[/said]
එහෙනං ඉතිං 25,000 පාඩු නෑ !

mahasona යාලුවට,
(බුදු අම්මෝ..ම..ම්..ම..මචන්..)
උඹ කියන කතාව සහතික ඇත්ත. අපේ සමහර උන් හිතන් ඉන්නෙ උන්ගෙ බූදල් කියල, රජයෙ දේවල්.!.තමන් පඩි ගන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියල මතක නෑ. මම කියන්නෙ නම්, අඩු තරමෙ ටිකට් කපාගෙන යනකොට හරි ඒවගෙ අය ගැන පැමිණිළි කරල යන්න. වෙන මොනව කරන්නද? එතකොට වත් හැදෙයි.!

සුපුන් යාලුවට,

ඒ කතාව නම් හරි !

මේකයි මිනිස්සු සල්ලි තියනවාටම නෙවෙයි පුද්ගලික රෝහල් වලට යන්නේ වෙනත් පහසුකම් ගැනත් බලලා.. ඒත් ඉතිං වෙලාව තමයි.. කොහොමත් පුද්ගලික අංශය බලන්නේ කොහොම හරි හම්බ කරන්න.

කලුබෝවිල රොහලේ කට්ටිය නං හරි හොඳයි. සමහර වෙලාවට පෝලිම් වල රස්තියාදු වෙන්න වුනාට බලංගියහම ඔය නවලෝක වගේ ඒවයෙත් ඉතිං පෝලිං තමා.

මේකයි RSS,FBS වලින් ඕක කරන්න බැ ගිහින් අර ග්ලුකොස් පොවල එකට පැය දෙකක් තුල ඉන්සියුලින් ප්‍රතිචාරය බලන්න ඔනි.

rss nevea rbs

Muthunayaka යාලුවට,

ඔවු..GTT එකක් වත් නැතුව තමයි උන් Diagnose කරල තිබුනෙ.මම ඔක්කොම කළා..Normal..!

අනූ යාලුවට,

ලන්කාවෙ අපිට ඉතින් පෝලිම් නැත්තෙ මොනවටද?

මාලි නන්ගීට,
ඔවු ඒත් මෙහෙම කළාම මිනිස්සු නිකම්ම ලෙඩ්ඩු වෙනවනේ..!

පුද්ගලික ඒවායේ ගෙවන්න වෙන එක ඇත්ත. ඒවාට යන්නේ එහෙම පුලුවන් අයනේ. ඒක නිසා ගානක් නැ. ඒත් සමහර ආන්ඩුවේ ඉස්පිරිතාල වල ඉන්න දොස්තරලට වඩා හපන් ‍ඇටන්ඩන්ලා ලේබර් රුම් වල ඉන්න උන් කියන ඒවා අපි අහලා තියෙනවානේ...

නම නොදන්නා යාලුවට,

කොහෙට ගියත් අරමුන වෙන්න ඕන ලෙඩ හොඳකරගන්නනේ..ඒත් පරීක්ෂණ වලට ගිහින් බොරු ලෙඩ දැම්මම..?
සමහර රජයෙ සේවකයො හදන්න නම්..කටවල් මහන්න වෙනව!

මහසෝනා (අපොයි, ඌටත් ප්‍රයිවෙට් යන්න වෙලා) කියපු විදිහටම මමත් අපේ ඉස්පිරිතාල වලට අකමෑති ඕක තමයි. ඒත් අන්තිමට හරියට බේතක් ගන්න යන්න වෙන්නෙත් එකටම තමයි. ඔයා වගේ අය අපේ ඉස්පිරිතාල තව ඉන්නවා නම්, ඔය හොර ප්‍රයිවෙට් වස්සවන්න පුලුවන්.

me blog eka nam digatama liyanna mahaththayo.

LazyOwl යාලුවට,


ඇත්තටම මම වැඩි දෙයක් කරන්නෙ නෑ,මගෙ රැකියාව රටට ණය නොවී කරණව විතරයි.අම්ම තාත්ත දුන්නු මනුස්සකම තියනව. එච්චරයි.
බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට..!

Amila යාලුවට,

අයියෝ මහත්තය කෑලි එපෝ..අපි යාලුවොනේ..!

ඔයාගේ බ්ලොග් එකේ සේරම ලිපි මම කියෙව්ව ප්‍රතිචාරයක් දාන්න බැරි වුනාට. නමුත් මේ ලිපියට ප්‍රතිචාරයක් දාන හිතුවේ මගේ ජීවිතේ වැදගත්ම කෙනාට සම්බන්ද සිද්දියක් නිසා.

අපේ අම්මට බඩ වැල් වල පිළිකාවක් කියලා හොයාගන්නකොට ඒක අක්මාව දක්වා පැතිරිලා ඉවරයි. නමුත් රජයේ රෝහලකින් සැත්කමක් කරලා, නරක් උන බඩවැල් කොටස් අයින් කරලා කොලස්ටමි බෑග් එකක් දාලා දුන්නා. හැබැයි කිව්වා ඔනේ දෙයක් කන්න දෙන්න කියලා.ටික දවසක් ඔහොම ඉඳලා චෙක් කරන්න එක්කගෙන ගියා. ඒ අර සැත්කම කරපු ඉස්පිරිතාලෙට නෙවේ, අපිට ලඟ තියන එකකට..එතැනට ගියාම කියනවා, වතුර ජාති විතරක් දෙන්නලු,තලප වගේ කෑම උනත් දෙන්න එපාලු. අපේ අඟේ ලේ වතුර උනා ඒක ඇහුවම.

ඊලඟ සිද්දියත් අම්මාටම සම්බන්ධ එකක්.පෞද්ගලික රෝහලකින් ගන්න උනා මොකක්ද වාර්තාවක්. මට නම මතක නෑ. ඉතින් ඒක බලලා දොස්තරවරු කිව්වේ මාස ගානක් ජීවත් වෙන්න පුලුවන් කියලා. එත් ඊට පස්සෙ සතියක් වත් අම්ම ජීවත් වුනේ නෑ. කාගේ වරදක්ද කියන්න දන්නේ නෑ..එත් මේක දක්කම හිතේ තියන ඒව කියන්න හිතුනා

deeps නන්ගීට,

ගොඩාක් දුකයි ඔයාගෙ කතාව ඇහුවම. ඇත්ත හරිම කළකිරීමක් දැනෙනව ඔය වගෙ සිද්ධි අහනකොට.(කොලොස්ටොමි කළාම මූලික කාලෙ ගන ආහාර දෙන්නෙ නෑ තමයි.ඒ ඉස්පිරිතාලෙ අය මොනව කළාද මම දන්නෙ නෑ.)
මම තවම මගෙ තාත්ත නැතිවෙච්ච හැටි ලිවුවෙ නෑ.ඒ කතාවත් ඔයාට වුනා වගේම දෙයක් නන්ගි..ඒක ලියන්න තාමත් මට හිත දෙන්නෙ නෑ.
ස්තූතියි මේ පැත්තෙ ආවට..

අදමයි ඔයාගෙ 1 වාට්ටුවට ගොඩවුනෙ. ඔක්කොම ලිපි කියවන්නයි හිත..අපූරුවට ලියල තියෙනවා. ඔන්න මම සාමාජිකත්වයත් ගත්ත..විවේක වෙලවට ගොඩවෙන්නම් කො ආයෙත්.

අදමයි ඔයාගෙ 1 වාට්ටුවට ගොඩවුනෙ. ඔක්කොම ලිපි කියවන්නයි හිත..අපූරුවට ලියල තියෙනවා. ඔන්න මම සාමාජිකත්වයත් ගත්ත..විවේක වෙලවට ගොඩවෙන්නම් කො ආයෙත්.

ස්තූතියි මේ පැත්තෙ ආවට..අක්කන්ඩි..ආයෙත් එන්න.

කවුරුත් කියවිය යුතුම ලිපියක්.

ස්තූතියි ශාකුන්තල යාලුවෙ

මගේ මේ ලගදි පාසලේදි බෝලයක් මුනෙ වැදිල (ඇස අයිනෙම)
හොස්පිටල් එකට ගෙනිච්ච ඇස බලන්න වත් ටෝච් එකක් නෑ වාට්ටු සේරගෙම හොයල එකක් ගෙනාව නිකන්ම නිකන් ටෝච් කෑල්ලක් යාන්තන් කරකවල කරකවල එලියක් දාල බැලුව පස්සෙ මාව ඇඩ්මිට් කලා බෙහෙත් වගයක් බොන්නදීල ඉන්න කිවුව එචචරයි

පස්සෙ අම්මයි තාත්තයි ඇවිත් මාව එක්කන් ගිහිල්ල ප්‍රයිවට් පෙන්නල තමයි බෙහෙත් අරන් ගෙදර එක්ක ආවෙ
‍ඉතින් පේනවනේ අපේ හොස්පිටල් වල තත්වය මේව පෙනි පෙනි ආයෙ යන්නත් බයයි.

අපෝ.අපේ මහත්තයගෙ ඔෆිස් එකෙනුත් රෝහල් ගත වුනාම ගෙවනවා.
ඒ උනාට මම නම් තීරණය කලා රජයේ රෝහලක නවතින්න මගේ බබා ලැබෙන්න.
මොනවාහරි උනොත් පෞද්ගලික රෝහල් කරන්නෙ අන්තිමට ඉස්පිරිතාලෙට ගිහින් දාන එකනේ.
දන් රජයේ රෝහල් ගොඩාක් හොඳයි.
ඒවගේ විශ්වාසනීය සේවයක් ඉටු වෙනවා. අනික ලෙඩ්ඩු ගැන හොඳ වගකීමෙන් බලනවා.
අඩුපාඩු නැතුවම නෙවේ.සමහර සේවකයොත් හරි නෑ තමයි. ඒ උනාට සමහර ලෙඩ්ඩු ඔක්කෝටම හපන්.

අද තමා ඉස්සෙල්ලාම මේ බ්ලොග් එක දැක්කෙ. තවත් රජයේ සේවකයෙක් අදුනා ගන්න ලැබුනු එක ගැන සතුටුයි. මහත්තයා දිගටම ලියන්න අපි හැමදාම එනව ඔයාගෙ අත්දැකීම් කියවන්න

ගොඩක් ප්‍රයිවට් ඒ වල ඔහොම තමා

මට නං හිතෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයම පිරිහිලයි තියෙන්නේ.. දොස්තර මහත්තුරු ලෙඩ්ඩුන්ව රස්තියාදු කරන තරම ම බලන්නකෝ.. කරුමයක් නේ..

පරීක්ෂණ වල තත්වෙත් ඊට දෙවෙනි නෑ.. කොළඹ මහ රෝහලේ පවා සමහර පරීක්ෂණ ආසිරි රෝහලෙන් කරගන්න කියනවා.. රජයේ රෝහල් ගැන ජනතාවගේ විශ්වාසය බිඳ දාලයි තියෙන්නේ.. චැනලින් සේවය විසින්..

කොහොම වුණත් සමස්ථයක් විදිහට ආසිරි රෝහලේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා හිතෙනවා.. රස්තියාදුව නං එම මයි.. දවසක් මාව වතුර බීලා බඩ පුරෝගෙන එක්ක ගියා Ultra Sound Scan එකකට.. හපොයි වැඩේ ඉවර වෙන්න අපේක්ෂිත වෙලාවට වඩා පැය 2.5 ක් විතර ගියා.. පැලුනෙ නැති ටික විතරයි..

රජයේ රෝහල් වල ඇඳුනුම් කමක් නැත්නම් හරි හමං ප්‍රථිකාරයක් වෙන්නේ නැති එක සුලභ දෙයක්.. හැබැයි සමහර රෝහල් වල සමහර වාට්ටු වල මේ තත්වය වෙනස්...

අවිස්සාවේල්ල රෝහලේ තියෙන මූලික ප්‍රථිකාර ඒකකය, ඒ වගේ වටින ඒකකයක්..

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.