මන්තර නූල...

{ Wednesday, September 16, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ මෙතැනින් http://www.naturephoto-cz.com/photos/sevcik/sri-lanka-hump-nosed-viper--hypnale-nepa.jpg

වෙලාව හවස හයට විතර ඇති.ගොම්මන් කලුවරත් වැටීගෙන එනව. වාට්ටුවත් ටිකක් කාර්යබහුල වෙලයි තිබුනෙ. ඔන්න අවුරුදු පහලොවක විතර කොලුවෙක් එක්ක දෙතුන්දෙනෙක් කඩා බිඳගෙන වාට්ටුවට ආව. කොලුපැටියගෙ අත ලේන්සු කඩමාල්ලකින් වහල තිබුන.
" මොකද උනේ " කියල මම ඇහුව
" සර්පයෙක් ගැහුව මහත්තයෝ " කියල එතන හිටපු ගෑණු මනුස්සය කිවුව, මයෙ හිතේ අර කොලුවගෙ අම්ම වෙන්ටෝනෙ.
මම ඉක්මනට මෙයාව ටැප් එක ළඟට යැවුව හොඳට සබන් දාල අත සෝදගෙන එන්න කියල. මොකද ගොඩක් අය මේවගෙ දෙයක් වුනාම කළබලේට ඉස්පිරිතාලෙ දුවන් එනව විතරයි , කරන්න තියන මූලික ප්‍රථමාධාර ටිකවත් කරන්නෙ නැතිබව දන්න හින්ද.
සර්පයෙක් දෂ්ට කලොත් ඉස්සෙල්ලම හොඳින් සබන් දාල හෝදන්න, දෂ්ටනයට ලක්වුන අවයවය හැකිතාක් නොසොල්වා තියාගන්න, මත්පැන්, තේ, කෝපි, වගේ උත්තේජක පාන වර්ග නොදෙන්න අපි හැමෝම දැනුවත් වෙලා ඉන්න ඕනෙ.
හරි හරි..අපි කතාවට එමුකෝ..ඉතිං මේ ගොල්ල කොලුවගෙ කාපු සර්පයව ගෙනල්ල තිබුන, ජෑම් බෝතලේකට දාල. සර්පයව නම් තලල තලල ජෑම් කරල තමයි තිබුනෙ. වෙලාවට සර්පය ඔලුව බේරගෙන තිබ්බ හින්ද කවුද කියල අදුරගන්න පුලුවන් වුනා. ඒක කුණකටුවෙක් (Hump nosed viper) ඔලුවෙ තුන්හුලස් හැඩේ නිසා මෙයාව වෙන්කරල අඳුරගන්න ලේසියි.
මම කොලු පැටියව වාට්ටුවට ඇඩ්මිට් කරල ඩොක්ටර්ට කතාකරල මෙයාව පෙන්නුව. පිටගැස්ම බෙහෙත විද්ද. ඉක්මනින් කරන්න තියන පරීක්ෂන ටිකට ලේ, මූත්‍රා හෙමත් යවල මෙයාට ඇඳකට යන්න කිවුව.
ලෙඩාගෙ දකුණු අතේ මහපටැඟිල්ලෙ තමා කුණකටුව කාල තිබ්බෙ. ගොම්මන් වෙලාවෙ පොල්ලෙලි ගොඩක් අස්සට අතදාල තමයි මූව කවාගෙන තියෙන්නෙ.
කුණකටුව කෑවම හරිම වේදනයි, ඊට අමතරව ගොඩක් ඉදිමුමත් එනව. ඒක ලෙඩාට පැහැදිළි කරල දුන්න. මිනිහගෙ අතේ බැඳල තිබ්බ කඹයක් විතර මහත නූලක්. ඒකත් කප්පවල දැම්ම, ඒකට නම් මනුස්සයට සර්පය කෑවට වඩා දුකයිද කොහෙද....
ඊළඟ දවසෙ උදේ , මෙන්න මෙයා අතත් එල්ලගෙන එනව. බැලින්නම් අත බෙර කොටේ වාගෙ ඉදිමිලා, නිල් පාට වෙලා, සීතල වෙලා..මේක දැකපු ගමන් මට හොඳටම බය හිතුන අත ඉවරයි තමා කියල. ඉතින් දඩි බිඩි ගාල බැලුව මොකද මෙහෙම වුනේ කියල.
බැලින්නම් මෙන්න අතේ මැණික්කටුව ළඟ තව මොකක්ද නූලක් බැඳල..!. ඒක නිසා තමයි මේ අත ඉදිමිල ලේ ගමන නැවතිල නිල්වෙලා තියෙන්නෙ. තව ටිකවෙලාවක් තිබ්බ නම් අත කපන්න වෙනව.
මට හොඳටම තරහ ගියා මේ වැඩේට නම්, ඇයි මම අතේ තිබ්බ සේරම නූල් කපල, ඒක කපපු හේතුවත් මූට කියල දීලනේ ගියෙ.
මිනිහ කෙඳිරි ගගා සමාව ඉල්ලනව. වෙලා තියෙන්නෙ මේකයි.., රෑ වෙලා සිකියුරිටි කාරයටත් ජරාවක් දීලද කොහෙද මිනිහ බලන්න එකෙක් ඇවිත් තියනව. එනකොට කොහෙද මිනිහෙක්ගෙන් මන්තර ජප කරපු (?) නූලක් ඇරන් ඇවිත්. මන්තර කාරය කිවුවලු මේක සර්පයා කාපු අතේම බඳින්න කියල. ඉතින් අර ගොන් වහන්සෙත් හැමෝටම හොරෙන් අර නූල අතේ බැඳගෙන තමයි නිදාගෙන තියෙන්නෙ. අපි නූල් බඳින්න එපා කියපු හින්ද කාටවත් පෙන්නුවෙ නැතිලු අත ඉදිමෙන කොටත්...උදේ මිනිහ ට්‍රයි කළාලු නූල කපල දාන්න..ඒත් එතකොටත් අතේ ඉදිමුම වැඩි හින්ද නූල පේන්නෙ නැතිතරමටම වැහිල තිබුන නිසාලු..මට ඇවිත් කිවුවෙ.
මොනව කියන්නද ඉතින්..ගහන්නයැ..මූට? අමාරුවෙන් නූල කපල දාල අත බේරගත්ත.
මේකෙන් අපිට පුංචි දෙයක් තියනව මතක තියාගන්න. සර්ප දෂ්ටනයකදි අතක නම් ඇඟිලි වල දාල තියන මුදු, අතේ බැඳන් ඉන්න නූල්, ඛ්‍රේස්ලට්, වලලු වගේ දේවල්, වෙන තැනක කෑව නම් තදවෙන්න පුලුවන් ඇදුම් ආදිය අනිවාර්යෙන්ම අහක් කරන්න ඕනෙ නැත්නම් ඉදිමුමත් එක්ක මේවට හිර වෙලා අත්, ඇඟිලි කපන්නත් වෙන්න පුලුවන්..ආ තව දෙයක් මතක තියාගන්න..අර තිරිංග දානව කියල සර්පය කාපු තැනට උඩින්, යටින් රෙදිපටි බඳින එකත් හරිම භයානකයි යාලුවනේ..!

අදහස් 27 ක් තියෙනවා "මන්තර නූල..." ට

බොහෝම ස්තූතියි සහෝදරයා අපිව දැනුවත් කලාට.....!!

හැමදාම ඔබතුමා අපට ලබා දෙන දැනුවත්කිරීමේ වර්ගයේ තවත් එක් අනර්ඝ ලිපියක් . . . මේ බ්ලොග් එකේ වටිනාකම නම් කියල නිම කරන්න බෑ ඉන්දික සහෝදරයෝ . . . දිගටම කරගෙන යන්න . . . ජය වේවා . . . !

Bohoma issthuthiy mewwa kiya denawata !

ස්තුතියි යුරාජ් මල්ලී

දුකා යාලුවේ..ඔයාලගෙ දිරිය නිසා තමයි මේ බ්ලොග් එක දුවන්නෙ.
ජයෙන් ජය වේවා.!

නියොන් යාලුවටත් බොහොම ස්තුතී..!

ඔය මන්තරකාරයො ඉන්නවනේ කරන තරමක් කරන්නෙ බොරු.....
ඒ මදිවට අමාරුවෙ වැටුනු මිනිහට තව මරාලයක් දාන්නයි මුන් හදන්නෙ.....

හරිම වටිනවා ඉන්දික.., ඔබ කරන්නේ බ්ලොග් ලෝකෙට විශාල සේවයක්. මේ ඔබ දිග හරින්නේ අපි ජීවත් වෙන සාමාන්‍ය ජීවිතය. නමුත් අපිට නොපෙනෙන අඳුරු අහුමුළු වලට ඔබේ දැනුම් පන්දමෙන් ආලෝකය එල්ල වෙලා. අඳුරෙන් එළියට එන්න ලැබෙනවා. හරිම සතුටුයි.. ජය වේවා.

මෙයාටනම් වුනේ ඒවගෙ වැඩක් තමා උෂාන් මල්ලී

ජයෙන් ජය ලිෂ්..!
ඔයාලගෙ කමෙන්ට්ස් නිසා තව තව ලියන්න හිතෙනවා..ස්තුතියි!

මට නම් කියන්න තියෙන්නෙ ඇයි මේ වගේ දේවල් මාධ්‍යය වල කතා කරන්නෙ නැත්තෙ පබ්බුයි බබ්බුයි ප්‍රවීනලයි ගැන කතා කරන වෙලාවෙ මෙහෙම දෙයක් කතා ‍කරොත් මොකද වෙන්නෙ ?

ඒ අතින් ඔබතුමා කරන්නෙ ලොකු සේවයක්
LishWish කියපු දෙය තමා අවසානයට කියන්න තියෙන්වන

කපිල යාලුවෙ..අපේ ගොඩක් දෙනෙක්(අපිත් ඇතුලුව) හරවත් දේට වඩා රසවත් දේට නැඹුරු වෙනව වැඩියිනෙ. ඒ නිසා ඔය කියපු ඒ ව මාකට් වෙනවනෙ හොඳට. හැමදේම සල්ලි වලින් මනින මාධ්‍යය මාකට් එක වැඩිම දේ අපිට දෙනව..මම හිතන්නෙ එහෙමයි..
ස්තුතියි බොහොම

නියමයි.සුපුරුදු පරිදිම.

LazyOwl යාලුවටත් ස්තුතියි~

දැනුවත් කරපු එක ගැන ගොඩක් ස්තූතියි. අපේ වත්තෙත් ඉන්නව කුණකටුවෙක්. ඌට කියන්න ඕන දෙයියනේ කියල මාවනම් කන්නෙපා කියල

ඔවු ඔවු එහෙම සාම ගිවිසුමක් ගහන එකනම් හොඳයි මචං..

ඇත්ත තමා. ඒ කාලේ මන්තර තිබුනා තමයි. නමුත් දැන් කාලේ ඉන්න අපේ අය කරන්නේ බොරුව. අපේ ගෙවල් පැත්තේ එක්කෙනෙකුට මොනවද බොන්න දීලා සතියක් විතර ඉස්පිරිතාලේ නැවතිලා හිටියා..

ඔහොම කරගෙන යමු..එළ එළ.......

සම්පත් යාලුවට,
මන්තර ගැන අපි දන්නෙ නැති හිංද මොකුත් කියන්න බෑ..ඒත් බොරු මන්තරකාරයින්ට අහුවුනොත් නම් සල්ලිත් ඉවරයි..සමහර විට ජීවිතෙත් ඉවරයි...ස්තුතියි යාලුවේ

ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට

ස්තුතියි උදිත් යාලුවේ!

අප්පේ ඔවු කොහොමත් සර්පයෙක් කාල උ අහුඋනොත් ඉතින් කෙහෙල් පට්ටයක් වගේ වෙනවනේ.

අප්පේ ඔවු කොහොමත් සර්පයෙක් කාල උ අහුඋනොත් ඉතින් කෙහෙල් පට්ටයක් වගේ වෙනවනේ.

හික්ස් අනිවා!

අපමන වටින ලිපියක් ඉන්දික අයියෙ.දිගටම ලියන්න.

බොහෝම වටිනා ලිපි පෙලක්.
දිගටම ලියන්න

විනෝදය වගේම දනුමටත් ඉතා වටිනවා.....
අද තමඉ මම 1 වාට්ටුවට මුලින්ම ආවේ.....
දිගටම එන්න හිතුනා.......

හප්පේහ්...... මේක මරුනේ,දැන්නම් හමදාම එනවා මේක බලාන්න,ඔයාට හෙදකමට වගේම කලාවටත් හොද හැකියාවක් තියෙනවා.මම කලින් සැරයක් කිවුවා වගේ කොපිය ගහන්නෙ කවුද කියලා නම් තවම දන්නැහැ.

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.