රත්තරං ලේ...

{ Thursday, October 07, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }
යාලුවනේ, හැමදාම හෙද නිළධාරියෙක් විදිහට මගේ කෝණයෙන් කතාවක් දීපු මට හිතුන පොඩි වෙනස්කමක් කරන්න. මේක ලිවුවෙ ලෙඩෙකුගෙ පුතෙක් විදියට හිතල. ඒත් මේක හෙද ජීවිතයෙ මට ලැබිච්ච අත්දැකීමක්ම තමයි. බලන්න, මම සාර්ථකයිද කියල,

රත්තරං ලේ
පින්තූරෙ මෙතනිනුයි ගත්තෙ

හලින් වූ යකඩ කොක්කේ එල්ලුනු පැකට්ටුවේ රතුපාට ලේ බින්දු එකින් එක හීනි බටයක් දිගේ රූටාවිත් අපුච්චාගේ නහර පෑදුන දකුණතට ඇතුල්වනු වාට්ටුවේ කොටබිත්ති කෑල්ලට උඩින් මට පෙනේ. සුදුමැළිව කෙහෙල් පරඬැලක් සේ වැහැරී ගිය අපුච්චා බුලත් කසට බැඳුන දත්දෙපළ විදහා මා හා සිනාසෙයි.
"ඇඟට වැටෙන ලේ බිංදක් බිංදක් ගානේ මයෙ අපුච්ච පණ ගහල එනෝ..රත්නත්තරේ සරණයි!"
අපුච්චාගේ අසරණ හිනාව මගේ පපු කැනැත්ත කීරි ගස්සයි
" ංහා..හා..කවුද ඔය බිත්තියට උඩින් එබෙන්නෙ? මේක සත්තුවත්තක් කියල හිතුවද?.අහකට ..අහකට!!! "
කිරිනයිදේ කංකානමගේ වාට්ටුව දෙවනත් කරවන ගෝරණාඩුවෙන් මම මඳක් වාට්ටුවෙන් ඈත් වීමි.
වාට්ටුවට මඳක් එපිටින් වූ අඹගහේ මුලක් මත හිඳගත් මම පහුගිය ටික දොහේ විඳින්නට වූ දුක් කංකටොලු යළිත් මෙනෙහි කරන්නට පටන් ගතිමි.
ගහක් ගලක් වාගෙ හිටපු අපුච්චා, මුදලාලිගේ ගල්වලේ වැඩකොලේ මං හිච්චිඑකා කාලෙ හිටං මයි. ඒත් ටික දොහක හිටං උන්දෑ ඇඟට හයි හත්තියක් නෑ කියාගත්තු ගමන්මයි හිටියෙ. සුදුමැළි වෙලා හොඳටම බැරි ගැහුනැයිං පස්සෙ තමා ආණ්ඩුවෙ ඉප්පිරිතාලෙට ගෙහුං නැවැත්තුවෙ. ඇයි ඉතිං එතකල් ලෙඩකට දුකකට කියල කසාය උගුරක් වත් බොන එකක්යැ!
කොහොමිං හරි ලෙඩා පරීස්සාකොරපු දොස්තර මහත්තුරු ලෙඩාගෙ ඇඟේ ලේ අඩුයි, ලේ දෙන්ට වෙයි කියාපි!
සිරිපාල අයිය මහ ඉස්පිරිතාලෙ ලේ බැංකුවට එක්කගෙහුං ල් දන් දුන්නෙ එයින් පස්සෙ. අපරාදෙ කියන්ට බෑ සිරිපාල අයිය හරි හොඳ මනුස්සය. එයාගෙ සාක්කුවට දාපු රුපියල් පනහත් ආපහු දුන්න ලෙඩාට විස්ක්තු පැකට්ටෙකක් වත් ගන්ටයි කියල.
ඔහොම ලේ දුන්නැයිං පස්සෙත් අපුච්චට ලේ නොදීපු හිංදමයි මං මිසීගෙං ඇහුවෙ ඒ ඇයිද කියාල.
"මේ ලෙඩාගෙ ලේ වර්ගය මේදවස්වල ලේ බැංකු වල නැතිලු. ඒකයි ලේ දෙන්න පරක්කු. ඔයා කෝකටත් ලේ බැංකුවෙ මිසීව හම්බවෙන්නකෝ" මිසී කිවුව.
ලේ බැංකුවෙ මිසී තමයි කීවෙ අපුච්චගේ ලේ වර්ගය ඒබී නැගටිවු ද මොකක්ද කියල. මට ඒ හැටි නොතේරුනාට ඒ ලේ වර්ගෙ හරිම හිඟයි වෙන්ට ඇති කියල හිතුනෙ ලේ බැංකුවෙ නෝනල ලේ හොයන්ට විඳින සුමේ දැකල.
ටිකකින් ලොකු නෝනෙක් මට ඇඩ්ඩස් එකක් දීල කීව "මේන් මේ මහත්තයගෙ ලේ වර්ගෙ ඔයාගෙ ලෙඩාට ගැලැපෙනව. ගිහිල්ල කතාකරල එක්කගෙන ඇවිත් අපිට ලේ එක දෙන්න" කියල.
මං ඉතින් ඒ ඇඩ්ඩස් එක හොයං ගියා.. අප්පේ, මහ විසාල බංගලාවෙක් අහස උසට තාප්පෙ, පත ගේට්ටුවක්..මං කෝකටත් ගේට්ටුව ගාවට කිට්ටු කළා..
"යනව යනව, මෙහෙ හිඟන්නන්ට තහනම්! මහත්තය දැක්කොත් මටයි බැනුම් අහන්න වෙන්නෙ.."
සිකුරුටි මහත්තයෙක්ගෙ ගෝරණාඩුව..
"නෑ නෑ අයියෙ මං මේ ආවෙ.............."
" මෙහෙ රස්සාවලුත් නෑ..කිවුවම අහල යනවකො අයිසෙ පවු දෙන්නෙ නැතිව... ! බල්ල ලෙහන්නද නැත්තං..ආ..?? "
" නෑ නෑ ..එපා..මේ මම ආවෙ මහ ඉස්පිරිතාලෙ ලේ බැංකුවෙ පණිවිඩේකට..!"
මම ඉක්මනිං කියල දැම්ම..නැත්තං බල්ල කවාගන්ටයි වෙන්නෙ
" එහෙම කියන්ටෙපෑයැ..ඔතනිං ඇතුල්වෙලා ඉස්සරහට යන්ට.. මං මහත්තයට කෝල් කරල කියන්නං"
මහත්තය හම්බෙන්ට ගියාට මොකද මයෙ පපුව වී කොටන්නැහෙ දහ් දහ් ගානව. මාව එලෝගන්නව සිකුරුයි..මේවගෙ වැදගත් මහත්තැං අපි වගේ අසරණයන්ට උදවු කොරාවියැ!
මං යනකොට ඒ මහත්තෙය ගරාජ් එකෙන් වාහනේ එළියට අරං යන්ට වගේ ලෑස්තිය..දුවගෙන ගෙහුං විස්තරේ කිවුව!!
හොඳට ඇහුංකං දීගෙන හිටිය මහත්තය..පෝං එක ඇරං අංක වගයක් ඔබල මොනවද සුරු සුරු ගෑව..
පස්සෙ මට කීව නගින්නකො කාරෙකට කියල,
මං ඉතිං තක්කු මුක්කු වෙලා ඉන්නකොට මහත්තය දොර ඇරල දුන්න. ඉක්මනිං ඇවිත් නැවැත්තුවෙ ලේ බැංකුව ගාවමයි!
....................................මගෙ ඉස්සෙරහම හාංසිවෙලා ඉන්න මහත්තයගෙ සුදුපාට අතින් රත්තරන්පාට ලේ බිංදු බටේ දිගේ ඇවිත් බෑග් එහෙකට පිරෙනව. බෑග් එකේ තියෙන ලේ ඇත්තටම මං දැක්කෙ රත්තරං පාටට.
ඔවු ,ඒව ඇත්තටම රත්තරන් ලේ!!!!!
මහත්තය ලේදීල ඉවරවෙලා එනෙකොට මං එයැයිගෙ කකුල් දෙක අල්ලල වැන්දෙ මයෙ ඇස්වල කඳුලු පුරෝගෙන.
ඒ මහත්තය ලේ දුන්නෙ පාලොස්වැනි වතාවට කියල මිසී කෙනෙක් කියනව මට ඇහුණ.
" අනේ රත්තරං මහත්තය , බුදු වෙන්ටෝනෙ "
...........................................ආයි!! අඹ මුලේ හිටපු දළ කඩියෙක් කකුළ කෑව. ඒකෙන් මේකෙන් මගේ හිතුවිලි ගංගාවත් විසිරිල ගියා. හප්පා පැයක් විතරම කල්පනා කොර කොර හිටිය නෙව!!
ලේ බැංකුවෙන් දුන්න පාට කොළ කෑල්ල ඊයෙ සාක්කුවට දාගත්තු ගමන් නොවැ! බලමු මොකද්ද කියල
"ස්වේච්ඡා අඛණ්ඩ රුධිර දායකයා ජාතික සම්පතකි"
"වයස අවුරුදු 18ත් 60ත් අතර බර කිලෝ 50 ට වැඩි නිරෝගී ඔබ රුධිර පරිත්‍යාගයට සුදුසුය"

හප්පේ..යන්ට ඕන ..අම්ම මඟ බලං ඇති!...මේ කරදර ටිකක් තුනී උනාම මාත් එනව ලේදෙන්ට..නිකම්ම ලේ නෙමෙයි ...රත්තරං ලේ!!!!!!!

අදහස් 23 ක් තියෙනවා "රත්තරං ලේ..." ට

මමත් 4 පාරක් දීල තියෙනව.මගෙ තියෙන්නෙ ඒ පොසිටිව්(ඔනෙ නම් කියන්න.)
මගෙ අත ටිකක් ලොකු හන්ද කට්ටිය නහර හොයන්න ගිහින් හිල් කරනව කීප පාරක් ආයෙ අර ප්‍රෙශර් එක වැඩි කරන්න අත වටෙ දාන එක (චරස් ගාල අලවන එක.) දෙතුං පාරක් ගැලවෙනව. ඉතින් එතන ඉන්න කට්ටියට පිං දිදී තමයි ආපහු එන්නෙ.

ගයාන් යාලුවට,
ලේ දෙන එක කොච්චර ලොකු පින්කමක්ද සහෝ!
කට්ටියට පිං කෙසේවෙතත් ඔයාටනම් පින්! ;)

thans ayya

මාත් අඛණ්ඩ රුධිර දායකයෙක්. දැනට තුන් වතාවක් දීලා තියෙනවා :)

උත්සාහය ඉතාමත් සාර්ථකයි.ලස්සනට ලියලා තියෙනවා.මම නම් තවම ඔය විදියේ දෙයකට දායක වෙලා නැහැ,මේක කියෙව්වයින් පස්සේ හිතුනා ළඟදිම කරන්න ඕනේ දෙයක් කියලා...

මගේ ජීවිතේත් මම ලේ දීලා තියෙනවා.., ගයාන් රිදෙනවා කීවත් අනේ මන්දා මටනම් මේ දෙත්දී අමුතුම සනීපයක් දැනුනේ.., ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි..! ඒ දෙන වෙලාවේදී මගේ ලේ පයින්ටුව ලබා ගන්න කෙනා කවුරු උනත් ඒ මනුස්සයාට වෙන සෙතේ මතක් වෙලාද කියලා නම් මට මතක නැහැ..! ඒත් ඒ සැහැල්ලුව මට තාම දැනෙනවා වගේ..!

ප.ලි ► මාස පහකට පස්සේ ලිව්වට කමක් නැහැ මේ පාරවත් දිගටම ලියන්න උත්සහ කරපන්..! මොකද මේ බ්ලොගේ මම පෞද්ගලිකව කියවන්න හරි ආස බ්ලොගයක්..! :)

හසිත යාලුවට.,
රත්තරන් කොල්ලෙක්නේ.!!

කැන්ඩි යාලුවට,
අනිවා දෙමු!!

ලිෂ් යාලුවෙ,
එක ලේ පයින්ට් එකකින් අනිවා ලෙඩ්ඩු 3 කට වඩා ගොඩයනවා..
platelet, Red blood cells , plasma මේව වෙන වෙනම ලෙඩ්ඩුන්ට යනව. මීට අමතරව White blood cells ඇතුලු තව ගොඩක් රුධිර නිෂ්පාදන හදන නිසා ජීවිත ගොඩක් එක ලේ පයින්ට් එකකින් ජීවත් කරවන්න පුලුවන්!

Mamath dan digatama 6 parak le dila tiyenawa attatama denna asai..Digatama liyanna Indika Aiya mamath me blog aluthen mona hari liyanakan tama balan inne kiyawanna ...

Thankz malli

මට පොඩ්කාලේ රූමැටික් උණ හැදිල තියෙනවා. දැන් නම් බෙහෙත් ගන්නේ නෑ. මගේ ලේ දැන් දුන්නට ප්‍රශ්ණයක් නැතිද. මමත් ආසයි ලේදෙන්න. එත් පොඩිකාලේ හැදුන ලෙඩේනිසා ගන්න කෙනාට හානියක් වෙයි කියල සැකයි. පොඩ්ඩක් එිගැන කියන්නකෝ. ආයත් ලියන එක ගැන සතුටුයි.

priyantha යාලුවට කියන්න තියෙන්නෙ, මම දන්නා තරමට නම් ඔයාට ලේ දෙන්න බැහැ. දුක් වෙන්න එපා ඒත්. ඔයාලගෙ පැත්තෙ ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කරනකොට ඒවට උදවුකරන්න. යාලුවො දැනුවත්කරන්න වගේ කොච්චර උදවුකරන්න පුලුවන්ද?

Could you please tell, is it ok donating blood who have cholesterol

ඔයා කොලෙස්ටෙරෝල් වලට බෙහෙත් ගන්නවනම්, මම දන්න තරමට ලේ දෙන්න හැකියාවක් නැහැ.

මටත් ඔය අත්දෑකීම නම් මටත් නෑ... මමත් දෙන්න ඕනා රත්තරන් ලේ..

මට ජාන විකෘතියක් නිසා ඇති වුන ලෙඩක් තියෙනවා. ඒකට කියන්නෙ "Dyskeratosis Congenita" කියල. මගේ ලේ වෙන කෙනෙකුට දෙන්න හොඳ නැද්ද?

අනේ මට ලේ දෙන්න බැහැ. මට ඇදුම තියෙන නිසා ගන්නේ නැහැ

math akanda rudira dayakawiyak...
Lankaweth 3 parak dunna.
dan inna rate minissu ledenawa aduii, suddo ne..
mama hama masa 4rakatama sarayak le denawa.

මගෙ බර කිලෝ 50-51 අතර ගනක තියෙන්නෙ. මම් 3 වතාවක් ලෙ දෙන්න ගියා. දොස්තර හා කිව්වට නර්ස් එපා කියනවා

Mama le bankuwe wadakarana Dr. kenek.
Oyage katawa le dena hamotama upharayak.

Thank you very much

මගේ බර 53යි.. ලේ දෙන්න ගියාම "ඔයා ටිකක් ලොකුවෙලා එන්ඩ" ලු.. :(

නොදන්න නිසයි අහන්නෙ... vegetarian කට්ටියගෙන් ලේ ගන්නවද?
ලේ දන් දෙන්න තියෙන්න ඕන සුදුසුකම් ඔක්කොම ගැන තියෙන ලිපියක් දාන්න පුළුවන් නම් අගෙයි...

අදයි මේ ලිපිය කියෙව්වේ!මං ලේ දන් දීම ගැන ලියපු ලිපියක් තියනව මගේ අඩවියේ!මෙතන ගොඩක් අයගේ ප්‍රශ්න වලට පිලිතුරු හම්බවේ කියල හිතෙනව ඒක කියෙව්වොත්!

ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!
http://sabithl.blogspot.com/2011/06/blog-post_19.html

ඔබේ ලිපිය නම් ඉතාම අගෙයි. එය මගේ නෙතට මෙන්ම තවත් බොහෝ දෙනෙකුගේ නෙතටත් කඳුලක් එක් කරනු ඇති.
මා මුලින්ම ලේ දන් දුන්නේ මීට වසර තිස් පහකට පමණ පෙර. අපේ ගමේ සිටි පිළිකා රෝගියෙකුට (මුඛ පිළිකාව, බුලත් විටට පින් සිදුවන්නට) ලේ දෙන්න ගමේ සාමාන්‍යයෙන් ලේ දෙන කෙනෙක්ව අරගෙන මම කොළඹ මහරෝහලට ආවා. ඔහු අව්වේ යන නිසා මගේ කුඩයත් ඔහුට දුන්නා. නමුත් බර කිරපු හෙදිය ඔහුගෙන් ලේ ගන්න බැහැ කිව්ව නිසා මම ඉදිරිපත් වුනා. තරමක බයකුත් තිබුනත් මට කිසි අපහසුවක් වුනේ නැහැ. ඉන් පසුව මම හතර පස් වතාවක් ලේ දන් දීලා තියෙනවා විතරක් නොවෙයි එම ව්‍යාපාර සංවිධානය කරලත් තියෙනවා. මට හිතෙන හැටියට දෙමාපියන් වෙනුවෙන් කල හැකි ලොකුම පිංකම ලේ දන්දීමයි. මොකද අපේ ඇඟේ දුවන්නේ ඒ අය ගේ ලේ නිසා.

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.