පවුකාර අම්මා....

{ Monday, September 05, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }


අම්මෝ...අනේ බඩ රිදෙනවා...ආයි.......
අනේ බුදු මිසී මාව බේරගන්න..අනේ...
"ගේන්න ගේන්න ඔය දරුවව ඉක්මනට...කෝ කෝ..ඔය ඇඳට ගන්න"
"අනේ බලන්න මිස් මේ ට්‍රොලිය හැමතැනමත් එක්ක ලේ...පවු අප්පා..."
පුංචි දැරිවියක්...වයස අවුරුදු 16 යි
නම...... නිෂානි
"කෝ මේ දරුවගෙ බාරකාරයො?..."
"මම මෙයාගෙ අම්ම මිසී..."
"මොකද උනේ? වැටුනද?.....""පොඩි මිස් ඉක්මනට ඩොක්ටර්ට කියන්න...බලන්න ලෑස්තිකරන්න මෙයාව"
"නෑ මිසී වැටුනෙ නෑ...මාස් ලේ යනව වැඩියි...ඒකයි ගෙනාවෙ!!"
"හ්ම්...හොඳයි, ඔය අම්ම වාඩි වෙලා ඉන්නකෝ එළියෙන්"

තරමක් විවේකීව ...වාට්ටුව තිබුන සති අන්තයක තමයි නිෂානි වාට්ටුවට ගෙනාවෙ. යෝනි මාර්ගයෙන් ලොකු රුධිර වහනයකුත් එක්ක, වේදනාවෙන් කෑ ගගහ තමයි ලෙඩා හිටියෙ.

අම්මල නම් කිවුවෙ මාස් ශිද්ධිය හැදිල ලේ නවතින්නෙ නැතුව දුවව ඉස්පිරිතාලෙට ගෙනාව කියල.
ඒත් ලෙඩාව පරීක්ෂා කළාම එයා ගබ්සාවක් කරගෙනයි කියල සැකයකුයි මතුවුනේ..

"මිස්..මේ ලෙඩාගෙ HCG එකක් බලමුද?"
"හොඳයි ඩොක්ටර්"
ඔය බලන්න කිවුවෙ ලෙඩාගෙ මුත්‍රා වල HCG ( human chorionic gonadotropin) කියන හෝමෝනය තියනවද කියලයි. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් මේ පරීක්ෂණය Positive වෙනව.
"ඩොක්ටර් HCG Positive, !! Septic Abortion එකක් වත්ද?"
"ඔවු ඔවු...එහෙම තමයි...අපි ඉක්මනට Theater ගමු, පොඩ්ඩක් මේ ළමයගෙ අම්මගෙන් විස්තර අහල බලමුද?"

"අම්මා...මේ දරුව ඉස්කෝලෙ යනවද?"
"යනව මිසී..."
"කීයෙද ඉන්නෙ?"
"එකොලහෙ පන්තියෙ"
"අම්ම මට ඇත්ත කියන්න...මොකද උනේ"
"අනේ නෝනො ඇත්තමයි කිවුවෙ...මාස් ලේ......................"
ඔය වෙලාවට තමයි අර රතුකට්ටද මොකක්ද එක පනින්න ආසන්න තත්වෙට එන්නෙ..
" මේ ළමය ජීවත් වෙනව දකින්න ඕනෙද..තමුන්ලට?,ම්ම්ම්...ළමයගෙ ජීවිතේ අනතුරේ තියෙන්නෙ, ඇත්ත නොකීවොත් අපිට නම් වගකීමක් ගන්න බැහැ"

හැබැයි මේ වෙනකොටත් නිෂානිව ඔපරේෂන් එකට ශල්‍යාගාරයට යවලයි තිබුනෙ...ඒ ERPC(Evacuation of Retained Products of Conception) කියන ශල්‍යකර්මය කරන්න.ඔය කට්ටිය කියන්නෙ "බඩ හෝදනවයි" කියල.
ඔන්න එහෙම කීවම නම් අර මනුස්සය බය වුනා..
"අනේ නෝනා මම බයටයි කීවෙ නැත්තෙ..අයියෝ..මගෙ දරුවට අමාරුද?"
" දැන් අඩුවෙයි ඔපරේෂන් කාමරේට යවලයි ඉන්නෙ...මට කියන්න ඔයාල මොකද කරගත්තෙ කියල, මොකද මේ දරුවට බෙහෙත් දෙන්න ඒ දේවල් වැදගත් වෙනව"
"අනේ මිසී, මෙයාට කරදරයක් වුනා...මෙයාගෙම බාප්පගෙන්...අපි ඉතින් දැන ගත්ත ගමන් ඉවරයක් කරල දැම්ම"
"ඉවරයක් කරල දැම්ම...අම්මගෙ මුණුපුරාවනේ නේ...ද?,හරි ෂෝක්...තව ඩිංගෙන් දුවවයි මුණුපුරායි දෙන්නම ඉවරයක් වෙනව"
"කොහෙන්ද ඔය ඉවරයක් කරල දැම්මෙ..කවුද කළේ?"
"******** තමයි ඒ වෙද මහත්තය ඉන්නෙ...අපිට කිවුව මොනව වුනත් ඉස්පිරිතාලෙ යන්න එපා, දවසකින් විතර ලේ යන එක නවතී කියල."
"ෆුහ්.ඉතින් මෙහෙ ආවෙ?"
"අනේ අපි දවසක් බැලුව මිසී, එන්න එන්න ලේ වැඩිවුනා....ඒකයි ආවෙ..:"
"මදැයි, හොඳ වෙලාවට තමුන්ල දරුවව අරන් ආවෙ"

ඉතින් ශල්‍යකර්මයෙන් පස්සෙ නිෂානිව වාට්ටුවට ගෙනාව. බොහොම අහිංසක පෙනුම තියෙන පොඩි දරුවෙක්.

නීතියෙ විදියට නිෂානි බාල වයස්කාරයෙක් හින්ද, සම්පූරණ වැරද්ද අර බාප්ප කියන කාළකන්නි මිනිහට පැටවෙනව.
ඇයි මිනීමැරුමක වගකීම , අර අවාසනාවන්ත අම්මටත් පැටවෙනව නේ!!
කොහොම වෙතත්...පොළිසියට මේ සිද්ධිය රෝහලෙන්ම දැනුම් දෙනවනේ....
නිෂානි රෝහලෙන් යන්නත් කළින්ම අර නරුම බාප්පගෙ දෑතට මාන්චු වැටුන එක අහන්න අපි වාසනාවන්ත වුනා!!
ඉතින්...පසුව ආරන්චි වෙච්චි තොරතුරු අනුව අම්මත්, මේ සම්බන්දෙට කැමැත්ත දීල තිබුනයි කියලයි ඇහුනේ..
තමන්ගෙ ආරක්ෂාවට, ඇස් දෙක වගේ ආදරේ, අම්ම....තමන්ගෙ දුවව මේ වගේ තත්වයට දැම්මනම්..තවත් ඒ ගැන කුමන කතාද...නේ ද?
වැටත් නියරත් ගොයම් කා නම්- කාට පවසම් ඒ අමාරුව..!!

(මේකත් මගේ යෙහෙළියකගේ අත්දැකීමක්...පහසුවට මේ විදියට සටහන් කළා..)

අදහස් 45 ක් තියෙනවා "පවුකාර අම්මා...." ට

දුර දිග නොබලන හැම තත්පරයකම වෙන්න තියෙන මේ අවදානම ගැන නොතේරෙන්න තරම් නූගත්ද මිනිස්සු? ඒත් සාක්ශරතාව අතින් නම් අපි...

අපිට ඉස්කෝලෙදිත් හම්බ වෙනව මෙහෙම අම්මලා. දුව පැනලා ගිහාම අපෙන් ඇවිල්ල අහනවා ළමය කෝ කියලා. එහෙම බබා පාට් දාන අම්මලම තමා බලනකොට මුලදි ළමයින් ගෙ ලව් වලට උල්පන්දම් දීල උපදෙස් දීල තියෙන්නෙ. ඉතින් අපිත් අමතනවා ලොවෙත් නැති වෙන්න. ඒත් ඉතින් ලැජ්ජාවක් වගේ දෙයක් තැවරිලාවත් නෑ මේගොල්ලන්ට. එයාලම වෙන්න ඇති ඔය දෙවනි ස්ටේජ් එකට ඉස්පිරිතාලෙ එන්නෙ ඔහොම වෙලා!!!

@ weni,
පොත් පත් වල වාර්තා වලින් නම් අපිතරම් දියුණු කවුරුත් නෑ!
නමුත් ඉතින්....

@ සංජු,
හරියට හරි නංගා...තුන්වෙනි ස්ටෙප් එක රෝහල, හතර එක්කො කනත්ත, නැත්නම් පොළීසිය!!

ඔහොම වෙලාවට නිදහසට කියන්නේ සමාජයට මුහුණ දෙන්න බැරි කමට කළා ලියලා. ඒත් කවුරුවත් කරපු වරදකට ජිවිතෙන් වන්දි ගෙවන්න ඕනේ ඒ මොකුත්ම නොදන්නා කිරි සප්පයද?

මෙවන් අවාසනාවන්ත සිදුවීම් තව කොපමණක් නම් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී සිදුවනවා ඇතිද? මරණයෙන් කෙළවර වනවා ඇත්ද? මේ සදාචාර පරිහානියේ අවසානය කුමක් වේද?

ඔබේ භාෂා ශෛලිය ළගන්නා සුළුයි. රසවත්. සුබපැතුම්.

මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. අර බාප්ප...ඌ සැබෑවටම කාලකන්නියෙක් වෙන්න ඇති. ඒත් තමන්ගේ දුවට අර තරම් දෙයක් වෙනකම් අම්ම කොහෙද බලන් ඉඳලා තියෙන්න... නූගත් කමද නැත්තම්....

කොහොම හරි අර දැරීවිගෙ ජීවිතේ බේරුන එක වටිනවා.ඒත් ඉතින් මේ කිසිම දෙයක් දන්නෙ නැති අර නූපන් නොදරුව....

@අම්බලම,
ඒක තමයි යාලු මෙතන තියෙන අවාසනාවන්තම පැත්ත. මේකට දාන්න පින්තූරයක් හොයද්දි හරිම දුක්බර දර්ශන තිබුන/තියෙනව. ඒත් ඒවා දාන්න තරම් වත් හිත හදාගන්නෙ කොහොමද?

@ නිලූක,
ස්තුතියි සහෝදරයා!

@දිල්,
නූගත් කමට සංවේදී නැතිකමද කියල හිතෙනව.!

අපේ ඉස්කෝලෙ ළමයි 3 දෙනෙක් වයස 16 දි පැනල ගියා. ඒත් ඉතින් ඕවට පොලිසි ගිහින් වැඩක් නෑලු මේ වගේ තත්වයකදි ඇරෙන්න මොකද උසාවි දැම්මත් ළමයට වයස 18 වෙනකල් නඩුව අද්දලා 18 වෙච්ච ගමන් බන්දලා දානවලු. "ලු" ප්‍රත්‍යයෙන් කිව්වෙ ඒක හරියටම වෙනවද දන්නෙ නැති නිසා. අර පැනල ගිය 3 දෙනා නම් යහතින් ඉන්නවා. ගෙදරටම ගෙන්නගෙන මාසෙකින් විතර අම්මලා අනේ කෙල්ලට මස් නැතුව වේලක් කන්න බෑ කියලා. අනික දැන් හැදෙන කෙල්ලොත් ආයෙ මොකටද බොරු කියන්නෙ හරිම හිතුවක්කාරයි වගේම මෝඩයි.

අනේ මන්ද දැන් ඉන්නෙ ගොඩක් අමනුස්සයො කියල හිතෙනව මේ කතා අහද්දි.ලමයින්ට මේ විශය හා සම්බන්දව දැනුම දෙනව අඩුද කියලත් හිතෙනව.

අය්ය එතකොට අඩුවයසෙන් ඔහොම උන ලමයෙක්ට නීතියෙ සරණ මොකද්ද?තනියම එහෙම ළමයෙක් හදන්න පුලුවන්ද???ගබ්සාවත් නීතියෙන් තහනම් නේ?එතකොට ඒ ලමයගේ ජිවිතේ එතනින් ඉවරයිද?

ආපහු පොඩ්ඩක් ආවෙ මම නිකන් ඉන්න බැරුවට ගූගල් එකේ පින්තූර හෙව්වා කියන්න අර ඔයා මේකට දාන්න පීන්තූර හෙව්ව විදියට. බඩ පපුව දාලා පිච්චිලා අලු වෙලා ගියා. දරුවො නැති කී දාහක් මේ රටේ ඉන්නවද සල්ලි ලක්ෂ ගනන් වියදම් කරගෙන තමන්ගෙ අරමුණට යන? අපේ අක්ක කෙනෙක් නළ දරුවෙක් ලබා ගත්තෙ අන්තිමට ලක්ෂ 7ක් විතර වියදම් කරලා. ඒ අතින් බලනකොට නම් කියලම වැඩක් නෑ

@ සංජු,
මගේ අත්දැකීමෙ හැට්යට නම් නංගා 18 ට අඩු උනාම පරිවාස හා ලමාරක්ෂන එකට යොමුකරල ළමයගෙ ආරක්ෂාව තහවුරු වෙන භාරකාරයෙකුට ළමයව යොමුකරනව උසාවි නියෝගයකින්. ඔය බන්දලා දාන කතාවත් ඇත්ත, මොකද ඉතින් ඒ ළමයටත් දෙමාපියන්ටත් පෙනෙන ළඟම විකල්පය "උඹ කොරගත්තනං ඌත් එක්කම පළ" කියන එකනේ.(ඒක එකම විකල්පය නොවන වග එයාල අමතක කරනව\අමතක කරන්න සිද්ධවෙනව).
විවාහයක් කරගත්තම පළවෙනි දවසෙන් පස්සෙ ඇඳ රෙද්දෙන් ගැහැනිය මනින පිරිමි ඉන්නකල් ඒකත් වැරදි නෑ නේද නංගි???

@නදී,
ඇත්තෙන්ම නංගි ඔහොම කෙනෙකුට දරුවෙක් ලැබුනොත් ජීවිතේ සෑහෙන කඩාවැටීමක් වෙනව. ඒකයි කියන්නෙ ගැහැණු දරුවො ඇහැක් වගේ පරිස්සම් කරගන්නයි කියල.
අපි කතාවට කියන්නෙ බබෙකුට බබෙක් හම්බෙලා කියල..පවු..
පුංචි පැටියෙක් තුරුලුකරගෙන ඉන්නකොට සෙල්ලම් කරන වයසෙ දරුවෙක්!!
නීතිය එතෙන්දි අසරණයි නංගි...මිනීමැරුමක්=ගබ්සාවක් කරන්න කියල නියෝග කරන්නෙ කොහොමද ??

@ සංජු,
Google කළාම තියෙන පින්තූර කොච්චර සංවේදීද? ඔයාට හිතාගන්න පුලුවන්ද නංගි ඕව ඇත්තටම දකිනකොට තත්වෙ.

හ්ම්.

වැරදිකාර අම්මලාගෙන් 90%ක් තමන්ගේ දුවව ඒ අගාධයට ඇදලා ගන්නවා කියලා මට හිතෙනවා ඉන්දික...

@ අභීත,
සමහරවිට..ඔවු..අම්ම ගැන අපි දන්නෙ නෑනෙ මේ සිද්ධියෙදිත්!

අද සමාජයේ තවත් පැති කඩක වේදනාකාරී අත්දැකීම් පිළිබඳ අප අහන දකින ඇත්තම කතා මෙලෙසින් රසවත්ව සමාජය වෙත පිදීම වෙනුවෙන් මගෙත් ස්තුතිය , මොකද මමත් මේ සමාජයේම තවත් එක මිනිසෙක් නිසා .....

ගබ්සාවට හේතුව ගොඩක් වෙලාවට උපත් පාලනය ගැන හරි දැනීමක් නැතිකම.උපත් පාලනය ගැන කියලා දෙන්නෙ කොහොමද ලිංගිකත්වය තහනං වචනයක්නෙ අපේ රටේ.......මමනං අඳුරණ ඕනේ එකෙක්ට ඕක කියල දෙන්න පැකිලෙන්නෙ නෑ.ලව් කරලා ලිංගික කාරයයේ යෙදිලා අධ්‍යාපනේ අනාගන්න එකට වඩා ඔය ගබ්සාව භයානකයි මම හිතන විදිහට........

මේ වගේ අවශ්ථා වල තමයි ගබ්සාව නිත්‍යානුකූල වෙන්න ඕනේ. කොටින්ම ඔය පොඩි ළමයෙක්ට ළමයෙක් බිහි කරන්න පුළුවන් උනත් ආදරය දෙන්න ඒ ළමයාව හදා වඩා ගන්න ක්‍රමයක් හෝ හැකියාවක් නෑ. අපි අරයාගේ මෙයාගේ වැරදි හොය හොයා ඉන්නේ නැතිව මේ වගේ දේවල් වෙනුවෙන් යමක් කරන්න පුළුවන්ද කියලා හොයන එකයි වැදගත්. අඩු උගත්කමක් තියෙන අම්මෙක් ඔය වගේ දේවලට ළමයි යොමු කරත් මම හිතන්නේ නෑ තමන්ගේම ළමයාට අනතුරකට යොමු කරන්න අම්මා කෙනෙක් කැමති වෙනවා කියලා.
පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන හැටි මේ වෙද්දි ළමයින්ට කියලා දෙන්න ඕනේ කියන එකත් අත්‍යයාවශ්‍යයි. මට මතක විදියට කොළඹට වඩා බොහොම වැඩි ප්‍රමාණයක් කොළඹින් ඈත ගම්වල අය තමයි ලාබාලවියේදිම ළමයි බිහි කරන්නේ මොනම හේතුන් මත උනත්. ඒ කියන්නේ එහේ විතරක් මේ දේවල් නොවෙනවා කියන එක නෙමෙයි නේ නේද?

අනේ අපොය්...කියනව ඇරෙන්න මොනව කියන්නද හිතා ගන්න බැහැ

නිසි කලදී ලිංගික අධ්‍යාපනය නොලැබීම . මෙතනදී නම් අපේ සංස්කෘතිය පොඩ්ඩක් ලිහිල් වෙන්න ඕන . ඔය වගේ අවස්ථාවකදී නීතියෙන් ගබ්සාවට ඉඩක් තියෙන්න ඕන . පුංචි එකා පව් තමයි . ඒත් අවශ්‍යතාවයක් නැතුව මේ ලෝකෙට බිහි වෙලා නින්දා විඳලා මාරි මාරි ජිවත් වෙනවට් වඩා ඒ විදිහට මැරිලා යන එක ඒ දරුවට හොඳයි . ගණිකා සේවයත් නීතිගත කරන්න වෙයි . අර කාලකන්නි බාප්පා වගේ උන්ට . ඔහොම අම්මලට නම් ඉතින් බු වල්ලෙන් තලන්න ඕන. ගැහැණු ළමයෙක් සම්බන්ධයෙන් නම් කිසිම පිරිමියෙක් විශ්වාස කරන්න හොඳ නැහැ . සීයලා..බාප්පලා ..මාමලා ..අය්යලා ..තාත්තලා ..ඔය කාගේත් හිතේ තිරිසනෙක් ජිවත් වෙනවද කියල සැකෙන් තමයි ඉන්න වෙන්නේ . අද විතරක් නෙමේ අපි පොඩි කාලෙත් ඔය වගේ උන් හිටියා . ගෙවල් ළඟ සිය කෙනෙක් මට මතකයි. නිතරම පුංචි ගෑනු ළමයි ලඟට අඬ ගහගන්නවා . මට නම් ඒ කාලෙත් තේරුනා මේකාගේ තරම . ගැහැනු ළමයෙක්ට අන්න ඒ ඉව නොතිබුනහම ජිවත් වෙන්න හරි අමාරුයි. සාක්ෂරතාවය තිබ්බට වැඩක් නැහැ පොතක් පතක් කියවන්නේ නැත්නම් . මොනවා වුනත් ළමා අපචාර වලදී නම් තදබල දඬුවම් දෙන්න ඕන . කොහෙද ඉතින් අපේ නීතියත්

@මහේෂ්,
ස්තුතියි අය්යා!

@ දිනුක,
ඒක නම් ඇත්ත. ලිංගික අධ්‍යාපනය කුණුහරප ගණයට නෙව වැටිල තියෙන්නෙ. නව යොවුන් වියට එළඹෙන ළමයින්ට දෙන්න තියෙන දැනුම මේ ක්‍රමය යටතේ බැඳපු අලුත තරුණ තරුණියන්ටවත් ලැබෙනවද කියන එකයි ගැටලුව!!

@Il mondo di una povera pazza,
ඒක ඇත්ත සහෝ, ඊනියා සංස්කෘතික කඩතුරාවකට මුවාවෙලා ඉන්නෙ නැතුව සමාජ හා විද්වත් කතිකාවතක් ඇතිවෙන්න ඕන ගබ්සාව නීතිගත කරනවද කියන එක ගැන.ඒ වගේමයි අපි මේ සංස්කෘතිය කියල බදාගෙන ඉන්න එකේදිම අපේ පැරැන්නො මීට වඩා නිදහස් ලිංගික ජීවිතයක් වින්ද කියන එකත් රහසක් නොවෙයි!!

යකඩෝ උම්මල නෙමේ සුම්මලා මුන් නම් ... දැන් විවාහ වෙන වයස් සීමාව වෙනස් කොරන්ඩ යනවලු නේද ? පනින රිලවුන්ට ඉනිමං තියන්න යන්නේ ආණ්ඩුවත් .. !

බයි ද වේ ඉන්දික දැන් උඹට යෙහෙළියෝ වැඩි වෙලා වගෙයි පේන්නේ.... :P

@ Obsever,
ඒක ඇත්ත අයියා...අනේ අපොයි තමා!

@Bindi,
මම නම් දකින්නෙ ඉස්සෙල්ලම මුලු වැඩිහිටි සමාජයටම ලිංගික අධ්‍යාපනයක්\ලිංගික මනෝවිද්‍යා සරල දැනුමක් දෙන්න ඕන. එහෙම නැත්නම් ගුරුවරු ලැජ්ජයි ඕව කියල දෙන්න. අම්ම තාත්ත ලැජ්ජයි!!
ඉතින් ළමයි ඉගෙන ගන්නෙ මොනවද?
ලමා අපචාරයකට දෙන්න ඕන දඩුවම මොනවගේ එකක් වෙන්න ඕනද? ඒකෙන් ඒ දරුවට අබමල් රේණූවක තරම් වත් යහපතක් වේවිද? මේව කතා කරන්න ඕන දේවල්!!

@තරින්ද,
ගෑණු ළමයි 400 ක් අතරෙ හිටපු පිරිමි ළමයි න්10 දෙනාගෙන් එක්කෙනෙක් මම. male nurses ල ගන්නෙ 5% කට අඩුවෙන් නොවැ. දැන් ඉතින් මොකෝ කියන්නෙ ආ..;)

@ඉන්දික ..මොකට කියනවද ඉතුරු ටික .... :P

මේකට ප්‍රධානම හේතුවක් තමයි ළමයින්ට මේ සම්බන්ධ නිවැරදි අධ්‍යාපනයක් නොදීම. හඳට යන්න උගන්නනවට වඩා තමන්ගෙ ජීවිතය හැඩගස්සවාගන්න උගන්නනවනං ඒක වැදගත් වෙනව.

@ THARINDA,
අනේ මන්ද..කිවුවනං අපිටත් දැන කියා ගන්ට!

@ප්‍රසන්න,
ඒක නම් හරි තමයි සහෝ.අපේ රටේ නැත්තෙත් ඕකමනේ!

අයියේ මට හිතෙන විදියට නම් බාබාපායි අම්මයි වැරදියි තමා, ඒත් ඒ ළමයට හම්බුවෙන්න ගිය බබාව නැතිකරපු එක ගැන නම් මට වැරැද්දක් පේන්නේ නෑ... ඒ ළමයා බබාව හදාගත්තනම් කොයි තරම් ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවද...?

ඔය වෙච්ච සිද්ධිය අවුරුද්දක් දෙකක් යද්දී හැමෝටම අමතක වෙයි... ඒ ළමයට වෙන විවාහයක් වුනත් කරගන්න පුළුවන්...

@ prasanna86k,
මෙහෙමත් එකක් තියෙනව මල්ලි, ඔය ගබ්සා කරන මනුස්සය ඕකට උපයෝගී කරගන්නෙ හරිම අපිරිසුදු ක්‍රමවේද! ඉතින් මේකෙන් තවඩිංගෙන් අර දැරිවිත් මියයන්න තිබුන.
ඔයා අදහස් කරපු දේ මට තේරෙනව..නීතියෙන් මෙහෙම ක්‍රමයක් තිබුනනම්.....

වැරදි කාරයට [ අසහනකාරයා කියන වචනේ තමයි හරි ] දඩුවම් ලැබුන එකනම් ලොකු දෙයක් , තව පොඩ්ඩෙන් තවත් අසරණ ජිවිතයක් විනාශ වෙනවා..

@ ChammA,
ඒත් ඉතින් ඔය ඳඩුවම මොනවගේ වෙයිද අපි දන්නෙ නෑනෙ?

ඇත්තටම අපේ සමාජය පුරා දකින්න ඇති බරපතල කාරණයක් මේ සිද්ධියෙන් නැවත මතු වෙන්නේ. නිසි අධ්‍යාපනයක් නැති කම. තවත් බොහෝ කරුණු මෙවැනි සිද්ධි එක්ක සම්බන්ධයි. මොනවා උනත් අවසානයේ අසරණයෙක් වන්දි ගෙවනවා.
නීතියෙන් බාප්පට දඬුවම් ලැබෙයි. ඒත් අර අසරණ දැරියට සිදුවූ හානියට කවුද වන්දි ගෙවන්නේ. එය මුදල් හෝ දඬුවමකින් මනින්න පුළුවන්ද?
කාලීන වශයෙන් වැදගත් ලිපියක්....

පොතක් ලියන්ට වටිනා කතාවක්. ඔයාගේ අත්දැකීම් (මෙතනදි නම් යාලුවෙක් කීවා උනත් ) හරියට වටිනවා.

මේ වගේ අම්මලාට මොනවා කලත් හිත් වදීද? බාප්පා කියන්නේ මෙතන අම්මාගේ දෙවැනි සැමියාද? ලමයාට පියෙක් නැද්ද?

@priyantha,
ස්තුතියි සහෝදරයා!

@ කුමාරිහාමි,
බාප්පා කියන්නෙ මෙතන තාත්තාගෙ මල්ලි..ළමයාගෙ තාත්තෙක් ඉන්නවා නෑ ගානයි..මොකද කිසිම ප්‍රශ්නයකදි සක්‍රිය මැදිහත්වීමක් තාත්ත වෙලා තිබුනෙ නෑ!

ඉන්දික.
අපිත් හැමදාම ජංජාලෙට ගිහින් ලක්බිමයි ලංකාදීපෙයි ඔන් ලයින් බලනවා.
ඔය වගෙ දූෂණ කතාවක් නැති දවසක් නෑනෙ. ඒ වුනාට අපි සුද්දන්ට හිනාවෙනව උන්ට හරි සංස්කෘතියක් නෑයි කියලා. මට පේන විදියට ඔයවගෙ සිද්දි වැඩිපුරම වෙන රට අපේ රට නැත්නම් ඒවට වැඩිම ප්‍රසිද්ධියක් දෙන රට අපේ රට.
henryblogwalker the Dude

@dude,
අපේ රටේ ඉතින් වැඩ ගැන ද...?

සක්කිලිනේ මචන්.., මේ විදියට කරන්න මොනතරම් නරුම හිතක් තියෙන්නේ ඕනේද කියලා ආපහු කියන්න ඕනේ නෑ මචන්. මොකක් උනත් දරුවෝ මේ ලෝකෙට් එන්නේ උන්ගේ උවමනාවට නෙවී.., කවුරු මොනවාකිව්වත් ඒක තමා ඇත්ත..! ඒත් දුකම කතාව තමා මේ සත්‍ය උන් කවුරුවත් මේ දේ අවබෝධ කරගෙන නැති එක..! අවසානෙට දුක් විඳින්නේ අර අහිංසක ජීවිතේ..!

@lish,
අනිවාර්යෙන් ම්චන්!

මනුස්සයින්ගේ තිරිසන් ගති ඉස්මතුවෙන කාලයක්.. බාප්පා අතින් දරුවෙක් අනත වෙන එක පුදුමයක්ද තාත්තාගෙන් ගැහැණු දරුවෙකුට රැකවරණක් නැති අපේ රටේ ?

ලිංගික අධ්‍යාපනය කියන එක සංස්කෘතියෙන් වැහුණා වගේම, ඔය නොමනා හැසිරීමුත් සංස්කෘතියෙන් ආරස්සා වුණා නම් අහවරයිනොවැ.. ඒවා ඔක්කොම ඉංගිරිස් කරමෙට ගිහිං, අධ්‍යාපනේ විතරක් අපේ කරමෙට තිබුණට යහපතක් වෙයිද?

යා දෙක නොරත රත - සමඟ පෑහිමෙක් නැත

දැන් තියෙන වට පිටාව අනුව ගෑණු ළමයි තියා පිරිමි ළමයින්වත් පරෙස්සම් කර ගන්න අමාරුයි. හැබැයි ඉස්සර කියලත් වැඩි වෙනසක් නැහැ.වැඩිය ප්‍රසිද්ධ නොකළ එකයි වෙනස. මට මියන්න ඕනවුනේ අනාරක්ෂිත සංසර්ගයකට පසුව පාවිච්චි කල හැකි පොස්ටිනෝ 2 (Postinore 2) කියා බෙහෙතක් ෆාමසියකින් වෛද්‍ය නිර්දේශ නැතුව ගන්න පුළුවන් බවයි.මේක හැම ගෑනු ළමයෙකුටම කියලා තියන්න. කොයි වෙලේ ඕනවෙයිද කව්ද දන්නේ? පාවිච්චිය එහිම ලියා තිබේ. මතක හැටියට සංසර්ගයෙන් පය 72 ඇතුලත පළමු පෙත්ත ගෙන තව පය 24 කින් දෙවැනි පෙත්ත ගන්න ඕන. කල් තියා දන්නවනම් කරදරේ නොවැටී බේරෙන්න පුළුවන්නේ. 100% හරියන විසඳුම නම් උපන් ගමන් කොල්ලන්ව කර ඇඹීමයි!

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.