මීයා මැරෙයිද?

{ Wednesday, August 24, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }


අනෝරා වැස්ස. හුලඟ තද කමට වාට්ටුවෙ ලැටිස් වලිනුත් වැහි වතුර එනව.
ලෙඩ්ඩු අඩු දවසක් හින්දම හොඳයි කියල අපි කතා වුනේ.
නැත්නම් ජනේල අයිනෙ ඉන්න සේරමල්ල තෙමෙනව.
ඩියුටි කාමරේ ජනේලෙන් බැලුවම ටිකක් ඈතට පේනව. මහ වැස්සෙම කවුද දෙන්නෙක් එනව. හොඳටෝම තෙමීගෙන. වහගෙන එන ඉටිරෙදි කෑල්ල වැහි කෝඩෙට ලාමක වැඩියි!!
හ්ම්...වයස අවුරුදු 70ක විතර සීය කෙනෙක්!! තව තරුණ පහේ මනුස්සයෙකුත් එක්ක වාට්ටුවෙ දොරකඩ නැවතිල.
" එන්න එන්න, වාට්ටුව තෙමුනට කමක් නෑ"
"මොකද වෙලා තියෙන්නෙ?"
"අනේ සෑර්, මේ අපේ ගමේ සීය කෙනෙක්, මෙයා මී පාසානං කාල, මම මේ එක්කං ආව!!"
"කෝ ටිකට් එක?"
සාක්කුවෙ සුරුණ්ඩි කරගෙන ආපු ටිකට් එක නම් යාන්තමට වතුරෙන් පරිස්සම් වෙලා තිබුන.
-පුංචිරාළ
-වයස 73
වාට්ටුභාර වෛද්‍යවරයට ලෙඩා ගැන දන්වන එක සහෝදර හෙදියකට බාරදීල , මම බැස්ස Gastric Lavage එක දෙන්න.
මේකෙදි කරන්නෙ වතුර බොන්න දීල වමනෙ කරවල, ආමාශයෙ ඉතුරු වෙලා තියන වස ටික ඉවත්කරල දාන එක නේ...
ඉතින් සීයත් කරදරයක් නැතුව දෙන දෙන වතුර කෝප්පෙ බොනව. ඔන්න ටිකකින් ඕක් ගාල වමනෙ කළා..තව වතුර..ආයෙත් වතුර..ආයෙත්......ඕක්.ආයෙත් වමනෙ...
දැන් නම් පැහැදිලි වතුර තමයි සීයා එළියට දාන්නෙ...ඒ කියන්නෙ ආමාශ දෝවනය හරි!!!
ඉන්පස්සෙ ඉතින් ලෙඩාව සෝදන එක තමයි තියෙන්නෙ...ඇඟේ තැවරුණු විශ අහක් කරල දාන්න ඕන නිසා!
............
විනාඩි 15කින් විතර බෙහෙත් ප්‍රතිකාර පටන් ගන්නකොට සීයා නාල හෙම, වාට්ටුවෙන් දීපු කොටු රෙද්දත් ඇඳගෙන ඔය ඉන්නෙ!!
වෙද්‍යවරයා සීයව බලල, නියම කරපු IV එක දෙන ගමන් මම සීයට පොඩ්ඩක් කතාකළා..
"සීයෙ...දැන් කොහොමද ඉතින්?"
"අනේ මන්ද..මහත්තයො...හරි බයයි මටනං"
"සීය මී පාසානං නේද කෑවෙ? ගොඩක් කෑවද??"
"නෑ මහත්තයො. සුට්ටයි කෑවෙ..ඒකත් වමනෙ ගියා...."
හොඳ වෙලාවට... සීයට එච්චර ලොකු ප්‍රෂ්ණයක් වෙන එකක් නෑ..මට හිතුන...
"මහත්තයො..?"
ආ..."ඇයි සීයා?"
"මේ ඔය මී පාසානං කාපුවම මක්කැයි වෙන්නෙ"
" ආ...සීයම බලාගන්නකෝ...සීයගෙ මීය මැරෙයි...අපිනම් දන්නෙ නෑ..:) "
"ඇ...ඇ...ඇත්තමද මහත්තයො?"
පවු අසරණය...හොඳටම බය වෙල...මීය මැරෙයි කියල...හෙහ්!!
"නෑ නෑ සීය...ඔයා ගොඩක් කාල නෑනෙ, මොකුත් වෙන එකක් නෑ...ඒත් අපි බලමු..මේ බේත් හේත් ටික හරියට කරගමුකෝ"
ඒක නෙවෙයි...මොකටද ඉතින් ඔය මී පාසානම් කෑවෙ....ආච්චි තරහ උනාවත්ද?
සීයගෙ වියපත් ඇස්ගෙඩි වල කඳුලු පිරෙනව මම බලාගෙන...
" මහත්තයො, මටත් ඉන්නව ඔය මහත්තය වගේ පුත්තු තුන්දෙනෙක්ම"
"ඉතින්...දැන් කෝ එයාල?"
"ලොකු පුතා ඒරොප්පෙ . පොඩි එකා අනුරාජපුරේ ඉන්නෙ හමුදාවෙ"
"අනිත් එක්කෙනා..?"
"අනේ මහත්තයො ඌ ළඟ තමා මං ඉන්නෙ...ඌ උගෙ ගෑණි කියන දේ අහල මට වෙනස්කම් කොරණව"
"ඉතිං සීයට අද මොකද කළේ?"
"අනේ මහත්තයො, අද උන් දෙන්න වන්දනාවෙ යනව කියල ගියා....මං ඉන්නෙ ගෙයි ඉස්සරහ කාමරේ...ගේ යතුරු දාල ගිහිං "
"මට මොකොවත් තම්බගෙන කන්නවත් කුස්සියට යන්ට විදියක් නෑ...වතුර ටිකක් වත් නෑ.."
ඉතින්........................................................................................................................................
ඔන්න ඕකයි යාලුවනේ සීයගෙ කතාව...සීය වහකාපු එකේ වැරැද්දක් නෑ කියල හිතෙනව වෙලාවකට!!

තමන්ගෙ තාත්ත වතුර වීදුරුවක් වත් නැතුව කුසගින්නෙ ඉන්න අතරෙ, මේ පුතයි ලේලියි කරන වන්දනාව මොකක්ද කියලයි මටනම් හිතුනෙ....!!


අදහස් 21 ක් තියෙනවා "මීයා මැරෙයිද?" ට

දියුණුව දියුණුව
ඔන්න අවසානය

විලම්භීත යාලුවට,

දියුණුව එක්ක එන මානව පරිහාණිය!!
ස්තුතියි කොමෙන්ටුවට!

"ඇවිත් ගිය යාලුවෝ ගණන.." << me link eken blog eka katha wenawa..

මාර වන්දනාවකනේ පුතයි ලේලීයි ගිහින් තියෙන්නෙ?තනියම උයාගන කන්ඩ බැරිනම් ලග ගෙදරකටවත් හාල් පොල් කලමනා ටික දීලා කෑම වේලක් දෙන්න කියල පන්ගනාත්තු කරල යන්ඩ තිබ්බනේ.මාර මිනිස්සු තමා.

මගෙ යාළුවෙකුත් ඉන්නවා හදිස්සියෙම එයාගෙ තාත්තයි මල්ලියි මාස කිහිපයක් ඇතුලත මිය ගියා. ඉතින් ඇත්තටම ඒකෙන් තනි වුණේ ඔහුගෙ අම්මා. තමන්ගෙ සැමියයි තරුණ පොඩි පුතයි මාස කිහිපයක් ඇතුලත මිය යනවා කියන්නෙ ඒ තරම් තනිකමක් තවත් කොහෙන්ද ගැහැණියකට? ඉතින් තමගෙ තනි වෙච්ච අම්මා ගැන ඔහු වෙනදට වඩා උනන්දුවෙන් ආදරෙන් හොයලා බැලුවා සැලකුවා. ඒක දිරෙව්වෙ නෑ ඔහුගෙ බිරිඳට. අවසානයේ ඒ රණ්ඩුව කෙළවර වුණේ ඔවුන් දෙදෙනාගෙ දික්කසාදයෙන්. ඔහුට ඔහුගෙ බිරිඳව ඕනිම කාලෙ ඈ ඔහුව දාලා ගියා දෙමාපියන්ට සැලකීම කියන වරදට. අද ඔහු පාඩුවෙ තමගෙ අම්මත් එක්ක ජීවත් වෙනවා තමන්ගෙ රැකියාව කරගෙන. නමුත් ඔහුගෙ ජීවිතේ අර හිස්තැන පුරවන්නෙ කවුද? සමහර කාන්තාවෝ ඉන්නව අනේ මන්දා මට කියන්න තේරෙන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ මව් කුසකින් ඉපදිලා පිය සෙනෙහසින් හැදුනා කියලා නෙවෙයි එකපාර වයස 20 දි මේ ලෝකෙට පහල වුණා කියලා.

@ ano friend,
මමත් දැනුයි දැක්කෙ ඒක, වහාම අහක් කලා..ස්තුතියි බොහෝම!!

@ නදී,
අම්මෝ..දැන් ගොඩක් දරුවන්ට අම්ම අප්පල කරදරයක් වෙලානෙ :(

@සංජු,
හරිම දුක්බර කතාවක් ඒකත්. ඇත්තටම මේ මිනිස්සු කොයි ලෝකෙට යයිද මරණින් පස්සෙ!!!

ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ වන්දනාවක්..

@ චතුර,
ඒකනම් ඇත්ත!!

මේවා අහන්න දකින්න උනානේ ? මෙහෙමත් දරුවෝ !!

කතාව පටං ගන්නකොට හිතුනෙ මේ සීය වැරදීමකින් මී පාසානම් කෑවිච්ච කෙනෙක් කියල. ආරෝග්‍ය ශාලාවක වැඩ කොරන කොට අහන්න දකින්න වෙන දේවල්....."සිත් ආර" සයිට් එකෙත් දැක්ක, ඩයලය්සිස් වගෙ ප්‍රතිකාරයක්ද කොහෙද කල් දාන්න කතා කල වයසක තාත්තෙක් ගැන, දරුවන්ට ට්‍රිප් එකක් යන්න වගෙ වැඩකට, ගෙදර දොර බලා ගන්න.

@ ඔබ්සවර් අයියට,
ඔබතුමා මේ පැත්තෙ ආව එකට හරිම සතුටුයි. ඇත්ත දෙමාපියන්ට උරුම වෙන්නෙ වැඩකාර රස්සාව තමයි, දරුවො කසාද බැන්දම!!

අනේ මන්දා එහෙමත් දරුවෝ .. උන්ටත් ඔවුවා විඳවන්න වේවි ..

@ හිස් අහස,
ඔවු ඉතින් තමන්ගෙ දරුවොත් ආදර්ශ ගන්නෙ තාත්ත අම්ම කරන වැඩ වලින්නෙ..!

කවුද වැරදි කියල කියන්න ඉස්සරවෙන්නෙ නෑ. සමහර දෙමාපියොත් දරුවොන්ට හරියට කරදර කරනව මම දැකල තීනව. කොහොම උන්ත වයසක කෙනෙක් ගෙටදාල වහල යන එක අනුමත කරන්න බෑ! තව පොඩ්ඩෙන් ඒ මනුස්සය මැරෙන්නෙ වහ කාල නෙමෙයි කන්න නැතුවනෙ.

@ උපශාන්ත,
ඔවු ඔවු..හැමදේකම ඉතින් දෙපැත්තක් තියෙනවා නේ..ඒත් ඉතින් මේ කරපු වැඩේනම් අන්තිම අසික්කිතයි නොවෙද?

සීයා පව්ම පව්.

ජීවිතය තේරුම් ගන්ට පුලුවන් හොඳ අත්දැකීම් ලැබෙන, ඒ වගේම සමාජෙට හොඳ සේවයක් සිදුවෙන රාජකාරියක් ඔයා කරන්නේ.

අදමයි මේ පැත්තේ ආවේ. කියවන්ට දේවල් ගොඩාක් තියනවා.

ස්තූතියි ඔය අත්දැකීම් හැමෝම එක්ක බෙදා ගන්නවට.

අද සමාජයේ එක්තරා පැත්තක් තමා ඔය....ඇත්තටම ඒ දරුවන්ට හිතෙන්නේ නැද්ද දන්නෑ තමන්ටත් මෙහෙම දෙයක් වෙයි කියලා....

@ kumarihamy,
අම්මෝ..කුමාරිහාමි කෙනෙක් මේ පැත්තෙ යහපත් වෙලා තියෙන්නේ..
ස්තුතියි නංගා..කියවන්න තියන දේ කියවන්නකෝ..අඩුපාඩුත් කියන්න.

@ මකුලුවා,
ඒකනම් ඇත්ත තමයි , ඇත්තටම එයාලගෙ ඇස් ඇරේවි තමන්ටත් මෙහෙම දෙයක් උන දවසට!

එහෙම අය වන්දනාවේ ගියාට කිසිම වැඩක් නෑ... පිං පිරෙනවා කියලයෑ....

@ප්‍රසන්න,
ඕව තමයි පවුකාර වන්දනා!

සංජුගෙ කතාවට මම දෙනවා තරු 10/10 ක්

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.