මානසික රෝගියා..

{ Friday, August 28, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් http://jf.equinoxe.free.fr/equinoxev3/galeries/melancolie/schizophrenia.jpg
අද මම කියන්න ලෑස්තිවෙන කතාවට සම්බන්ධ අත්දැකීම මට ලැබුනෙ මුල්ලේරියාව මානසික රෝහලේදි. අපේ පුහුණුවෙම කොටසක් විදියට මානසික හෙදකම ( Psychiatric Nursing ) සායනික පුහුණුව දෙන්නෙ මුල්ලේරියාවෙයි, අන්ගොඩයි මානසික රෝහල් වල තමයි.
ඔය මම කියන්න යන ලෙඩා අවුරුදු තිහක විතර පිරිමි කෙනෙක්. අමුතුම කඩවසම් කමකුත් මනුස්සයට තිබුන. කොටින්ම හැන්ඩි කොල්ලෙක්. මෙයාට තිබිච්චි ලෙඩේ තමයි එක දිගටම පැය ගානක් එකම තැනක් දිහා බලන් ඉන්න එක. බලාගෙන බොහොම හෙමීට මොනවද කියනව. කඳුලු පිහිදනව. ඔන්න ඔය වෙලාවට කවුරුහරි ළඟට ගියොත් හෙම මනුස්සය එකපාරටම බය වෙලා වගෙ අර කර කර හිටපු වැඩේ නවත්තනව,බොහොම නොසන්සුන් වෙනව. මෙයාට හැදිල තිබ්බ මානසික ලෙඩේට කියන්නෙ "සිට්සොපීනියා"( Schizophrenia ) කියල.
දවසක් මම බොහොම හෙමින් මනුස්සය ළඟට කිට්ටුකරල මේ මොනවද කුටු කුටු ගාන්නෙ කියල අහන් හිටිය.
"ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ?"
"මාව දාල යන්නෙපා"
"මම ඔයාට ගොඩක් ආදරෙයි"
ඔන්න ඔය විදියට එක එක දේවල් තමයි මෙයා කියවන්නෙ. කියන කොට ඇස්වලින් කඳුලුත් එනව.
ඉතින් මම මෙයාගෙ රෝග ඉතිහාසය ගැන පුන්චි සෙවිල්ලක් දාන්න හිතුව. මේ ලෙඩ්ඩු අපිත් එක්ක හරිම කුලුපග වෙනව දිගටම ඩියුටි කරනකොට. ඉතින් ඒක හින්දම බොහොම හෙමින් මම මේ මනුස්සයගෙන් එයා ගැන විස්තර අහගත්ත, දවස් ගානක් උත්සාහ කරල. අන්තිමට මම මේ ලෙඩා ගැන සාර්ථක නිබන්ධනයක් පවා කළා.මෙයා උඩරට පැත්තෙ ඇඟලුම් කර්මාන්ත ශාලාවක පිරිස් කළමනාකරුවෙක්ලු. අම්ම තාත්ත දෙන්නම තරුණ කාලෙම නැතිවෙච්චි හින්ද තනියමමලු හිටියෙ. ඔන්න ඔය අතරෙදි බොහොම සල්ලිකාර ගෑනු ළමයෙක් මෙයාට සෙට් වෙලා තියනව. ටික කාලෙකට පස්සෙ ඉතින් මේ ජෝඩුව කසාද බැඳල තියනව.එතකොට අපේ යාලුවට අවුරුදු විසි පහක්ලු. ඉතින් මේ දෙන්න බොහොම සතුටින් හිටියලු. නෝනගෙ ගෙදරම තමා මෙයාල ඉඳල තියෙන්නෙ. මෙ ගොල්ල සතුටින් හිටපු කාලෙ ගැන කියනකොට අහින්සක මනුස්සය පුදුම උද්‍යෝගයකින් කතාකලේ.
ඉතින් ටික කාලෙකට පස්සෙ මෙයාගෙ ලින්ගේන්ද්‍රියෙ පුන්චි සුදුපාට බිබිලක් ඇවිත් තියනව. නිකම්ම ඒක ආව කියල තමයි මෙයානම් කියන්නෙ. ඒත් ඒක එන්න එන්නම ලොකුවෙලා තුවාලයක් වුනාලු. ඒක හින්දම මෙයාට වයිෆ් එක්ක එකට ඉන්න එක පවා ගොඩක් වේදනාකාරී වුනාලු. තුවාලෙ වැඩිවෙන්න වැඩිවෙන්න මේ මනුස්සයට සෙක්ස් ලයිෆ් එක අතැරල දාන්න වුනාලු. පුදුම වැඩේ කියන්නෙ එයා මේක කාටවත් කියලත් නෑ, දොස්තර කෙනෙකුට පෙන්නල බේත් ඇරගෙනත් නෑ. වයිෆ්ටවත් කිවුවෙ නෑලු (????).
කොහොමින් කොහොම හරි මේ තුවාලෙ හින්දම මෙයාට පවුල් ප්‍රශ්නත් ටික ටික එන්න ගත්තලු. ඒව ඉවරවෙලා තියෙන්නෙ වයිෆ් මෙයා අතඇරල දාල යන එකෙන්. මනුස්සයට මේකෙන් යන එන මන් නැතිවුනාලු. ඇයි හිටියෙත් ගෑනිගෙ ගෙදරනෙ. ඊට පස්සෙ මෙයා වැඩට යන්නෙත් නැතුව යාලුවන්ගෙ ගෙවල්වල ඇවිද ඇවිද හිටියලු....එතනින් එහාට එයා දන්නෙ දැන් මේ එයාගෙ මහ ගෙදර ඉන්නව කියල විතරලු. මහ ගෙදර කියන්නෙ මේ ඉස්පිරිතාලෙ. එයා හිතන්නෙ මේ එයා පුන්චි කාලෙ හිටපු ගෙදර කියල.
ඔන්න එතනින් එහාට, මනුස්සයට මතක නැති ටික මම හොයාගත්තෙ මෙයා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරපු දවසෙ හිටපු ඇටෙන්ඩන්ට් කෙනෙකුගෙන්. ගෑනි ගියාට පස්සෙ රස්තියාදු ගගහ හිටපු මෙයා හිටිගමන් පිස්සු නටන්න පටන් ඇරන් තියනව. යාලුවො මෙයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චම එහෙන් තමා මෙයාව මෙහෙට එක්කන් එන්න කියල තියෙන්නෙ. දැන් ඉතින් අවුරුදු තුනක් තිස්සෙම මුල්ලේරියාවෙ.
ලෙඩාගෙ පෙර ශල්‍ය ඉතිහාසය ( Past Surgical History ) හොයල බැලුවම, මෙයාගෙ ලින්ගේන්ද්‍රියෙ තිබිල තියෙන්නෙ සැරව බිබිලක් ( Pustule ) මේකට බේතක් නොකර බලන් ඉඳල තමයි ගොඩක් තුවාලෙ වැඩිවෙලා තියෙන්නෙ. අන්තිමට ලින්ගයෙන් කොටසක් අහක්කරන්නත් වෙලා තුවාලෙ සනීප කරන්න. මෙයාට සමාජ රෝග හෙම හැදිල තිබිලත් නැහැ කියල වාර්තා වල තියනව.
කොහොම වුනත් නොසැලකිල්ල හරි ලැජ්ජාව හරි බය හරි මොන හේතුවකටද මන්ද සමඟියෙන් හිටපු පවුලක් කඩාකප්පල් වෙලා, අසරන තරුණ මනුස්සයෙක් සදාකල් මානසික ලෙඩෙක් වුනා. අපිටත් හිතන්න දේවල් ගනනාවක්ම මේ සිදුවීම ඇතුලෙත් තියනව.....
ඉතින් අපේ ලෙඩා ගැන මොකද? මිනිහ දැනටත් බිත්ති මුල්ලකට වෙලා වයිෆ් එක්ක කතාකරනව ඇති..!

අදහස් 19 ක් තියෙනවා "මානසික රෝගියා.." ට

අපි මේ බ්ලොග් එකේ නම වෙනස් කරමු මචන්......!! මොකද මේකේ රස කතා යන්නේ නෑ.....!! මේවා බොහොම දුක හිතෙන කතා.....!! :(

ඒක ඇත්ත යුරාජ් මල්ලි, ඔන්න මම වෙනසක් කළා...දැන් ටිකක් විතර හරි නේද?

සිංහල *** සංස්කෘතියේ තවත් එක් පීඩිතයෙක් !!

Chrishi යාලුවට,

ඔවු...මාත් හිතනව එහෙම.සමහර විට එහෙම නොවෙන්නත් පුලුවන්..මිනිහගෙ පැත්තට වැරැද්ද දාන්නත් පුලුවන්..කොහොමත් අපිට තීරණයක් දෙන්න බෑ. මොකද සිද්දියෙ ඇත්ත තත්වෙ හරියටම දන්නෙ නැතිනිසා..අපි දන්නෙ මිනිහ කියපු දේවල් නෙ ගොඩක් හරිය.

පව්......... මේවට මුලික හේතුව ලංකාවේ අධ්‍යාපනය...... පාසලක මේව ගැන කතා කරන්නෙ බොහොම අඩුවෙන්. මොහු මේගැන චුට්ටක් හරි දැනුවත් උනානම්..............

පවු අප්පා.. ඉතිං මානසික චිකිත්සාවකින් එයාව ආයෙමත් හොඳ තත්වයකට ගන්නම බැරිද?

ඉංගිරිසි බර වචන සකියන විදිහ හරියටම සිංහල අකුරු වලින් ලියන එක අමාරුයි. ඒත් මේක ලියන්න ඕනෑ නං ස්කිට්සොෆ්‍රීනියා කියලයි.

සිංහල වචනය - භින්නෝද්මාදය මට මතක හැටියට.

ගරිල්ලා මාකටිං එකේ පොරට තිබුනේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ ප්‍රවත් පත් සාකච්ඡාවකින් තමයි අල්ල ගත්තේ.

කතන්දර කාරයා

Kathandara Kaarayaa යාලුවේ,

ඔයා හරියටම හරි..නමුත් ඔය වචනෙ ශබ්ද කරන්නෙ ඔය මම ලියල තියන විදියට...සිංහල වචනෙ හරි..ස්තූතියි යාලුවේ.

ushan යාලුවට,

ඔවු ලන්කාවේ තාම ලින්ගික අධ්‍යාපනයක් නෑනෙ..

නම නොදන්නා යාලුවට,

සමහර ලෙඩ්ඩුන්ගෙ මානසික තත්වෙ ආපහු සාමාන්‍ය විදියට ගන්න අමාරු වෙනවා.එතකොට ඉතින් බෙහෙත් දිදී දිගටම මානසික රෝහල් වල තියාගන්නව

ම්ම්ම්... කෙසේ වෙතත් ඉන්දික මේ ඔයා කියපු Pre-Morbid History එක හරි වෙන්න ඇති. නමුත් Schizophrenia
වලදි අනිවාර්යෙන්ම මොලයේ Structural/Chemical change
එකක් තියෙනවා.ඒකනෙ ගොඩක් අයට Family histroy තියෙන්නෙ.
ඉතින් විවිද සිදුවීම් වලින් රෝගී තත්වය එලියට ඒම ඉක්මන් වීම තමා වෙන්නෙ.පුලුවන් නම් Beautiful mind බලන්න.එච්චර ලස්සනට එකෙ ලෙඩේ Analyse කරල තියනවා

කියාගන්න බැරි තරම් දුකක් ඇතිවුනා මචන්.., පවු අහිංසකය.
මොනවා උනත් මට මීට වඩා දුකක් ඇතිවෙනවා, ලංකාවේ Sex Education ගැන.

Nish යාලුවට,

ඔවු ගොඩක් අයට Family history එකක් තියනවානෙ. සමහරවිට මෙයාටත් එහෙම තියෙන්න ඇති. මොකද දෙමාපියොත් මැරිලනෙ.එයාගෙ අර සිදුවීමෙන් ඔයා කීව වගේ රෝග තත්වය එළියට එන්න ඇති.බොහොම ස්තූතියි.

ලිෂ් යාලුවේ..ඇත්තටම Sex Education තිබ්බ නම් මේවගෙ දේවල් වලටත් වඩා සෑහෙන්න වෙන "නොවිය යුතු දෑ" වලක්ව ගන්න තිබ්බ.

මම මේ ලෙඩේ ගැන මෙතනින් කියෙවුව.....

http://www.edu.krishantha.com/medical/2009-07-14-18-49-46/2009-07-14-19-50-15

පව්... හරිම දුක කතාවක්.... :(

"මොන ප්‍රශ්නෙ ආවත් අපි එකට ඉමු", "මට ඕනෙ හැමදාමත් ඔයා ගාවට වෙලා ඉන්න" වගේ කතා ඒ ගොල්ලොත් ඕන තරම් මුමුණන්න ඇති. නමුත් අවසානයේ ඒව ගෙ තිබුනු හිස් බව ඔහුටත් දැනෙන්න ඇති.

එල එල හොද ආදර්ශයක් ගත්තහකි

ඛේදනීයයි, බොහොම පහසුවෙන් මගඇරගන්න තිබ්බ දෙයක් !

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.