මරණ සහතිකය.....

{ Friday, April 29, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }


ඔන්න මේක තමයි කිරිබණ්ඩ ගෙ කතාවෙ අතුරු කතාව. මුල කතාව බැලුවෙ නැති අය ඉන්නව නම් Turning Point කියන කතාව මුලින්ම බලල එන්නකෝ...

ඉතින්, පිහියෙන් ඇනල තුවාල වෙලා ගෙනාපු කිරිබණ්ඩව අපිට බේරා ගන්න බැරි වුනානේ.ඉතින් මේ මිනිය වාට්ටුවෙ පැය දෙකක් තියාගෙන තමයි මෝචරියට යවන්නෙ. ඒක නිසා ගෙදරින් ආපු කට්ටියට පැහැදිළි කරල දීල අවසන් කටයුතු වලට සූදානම් වෙන්න කියල ගෙදර යැවුව. මොකද මරණ පරීක්ෂනෙ ඉවර වෙලා මේක ගන්න කොට ඊළඟ දවසෙ දවල් වෙනව.
පැය දෙකකට පස්සෙ මිනිය සෝදවල, අත් එකට තියෙල අර මිනී හදල තියෙන ක්‍රමේට හදවන්න ඕනෙ. කනිෂ්ඨ සේවක මහත්තය ඔයටික කරන අතරෙ, මම " මළ හැඳුනුම් පත්" ලිවුව.
හැබෑට මොනවද ඔය මළ හැඳුනුම් පත්..? මළ හැඳුනුම් පත් කියන්නෙ ලෙඩාගෙ විස්තර අඩංගුකරල රතු පාටින් ලියන කොළකෑළි වලට. මේව තුනක් ලියනව.....එකක් මිනියෙ පපුවෙ අලවනව ඇඳුම් වලට උඩින්. අනික මිනියෙ කකුල් වල මහපට ඇඟිල්ලක ගැටගහනව. ඉතිරි එක මිනිය බාරගන්නෙ ඕවර්සියර් නේ..එයාගෙ අතට දෙනව.
ඕවල ප්‍රයෝජනේ තමයි මිනියක් මෝචරියට දැම්මම වෙන්කරල හඳුනගන්න එක.
මෝචරියෙ තියෙන්නෙ ශීතකරන..ඒවා නිකන් මේස ලාච්චු වගේ Stainless Steel වලින් හදල තියෙන්නෙ. මේව ඇතුලට මිනිය දැම්මම පොඩ්ඩක් ඇදල බලල හොයාගන්න තමයි දෙකොනෙම හැඳුනුම් පත් ගැටගහන්නෙ.
නම- කිරිබණ්ඩා
වයස- 72
BHT- ......
.................
ඔන්න, පහුවදා ..................ආ හැමෝම දන්නව නේද අපිට අන්තිමට ගන්න තියෙන සහතිකේ..
ඔවු ඔවු..මරණ සහතිකේ තමයි. අන්න ඒක ලියන වෙලාව ආව.
"ලෙඩාගෙ සම්පූරණ නම?"
"බණ්ඩාර හේවගේ සිරිල් බණ්ඩාර"
"එතකොට මේ කිරිබණ්ඩ කියන්නෙ කවුද?"
"ආ ඒ එයාට ගෙදරට කියන නම! "
දැන් මොකද කරන්නෙ. BHT එකේ නැති නමකට මරණ සහතික ලියන්නෙ කොහොමද?
මෙතෙන්දි කිරිබණ්ඩගෙ නෑදෑයින්ට හරිම අපහසුතාවයකට තමයි මුහුනදෙන්න වුනේ..කොහොම කොහොම හරි මරණ සහතිකේ නම් ලැබුන..හැබැයි පැයගානක් ප්‍රමාද වෙලා!

මේකෙන් අපිට ගන්න තියෙන්නෙ මේකයි යාලුවනේ..ඔයාල රෝහලකට ඇතිලුවෙනකොට හරි ,තව කෙනෙක් ඇතුල් කරනකොට හරි, නියම නම වයස සහ ලිපිනය දෙන්න.
දැන් ඔයාල අහයි..ඇයි අපිටත් මරණ සහතික දෙන්නද? කියල......
නෑ නෑ...අපෝ නෑ..
මේ මම කිවුවෙ මගෙ අත්දැකීමක් විතරයි...
ඇයි වෛද්‍ය සහතික (Medical certificate) ගනිද්දි,
රක්ෂණ සහතික පුරවද්දි..
ඔයවගේ නීතිමය කටයුතු වලට තමුන්ගෙ නිවැරදි නම දීල නොතිබුනොත් කරදර වේවි.
ඇයි ඒ විතරක්ද?...බෙහෙත් දෙන්න බෙහෙත් විදින්න ගියාමත් තමුන්ටම තමන්ගෙ නම පැටලෙන්නත් බැරි නෑ....
සෑහෙන්න අමාරුවෙන් වාට්ටුවක නැවතිල ඉඳල , ටිකට් කැපුවට පස්සෙත් තව පැයගානක් ලගින්න කැමතිවෙන්නෙ කවුද? එහෙම නේද? මැරිච්ච කෙනෙක් වත් කැමති වෙන එකක් නෑ මම හිතන්නෙ.!!

Turning Point.....

{ Wednesday, April 27, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }

යක්කු ගස්නගින වෙලාව පහුවෙලා පැය බාගයක් විතර ඇති. ඈතින් ඇහෙන ට්‍රොලියක කබල් සද්දෙන් ලෙඩෙක්ගෙ ටිකට් එකක් බලබල හිටපු මගෙ රාජකාරිය නවත්තල දාන්න වුනා. මොකද ට්‍රොලියකින් එන්නෙ අමාරු ලෙඩෙක් බව දන්න හින්ද.
ලෙඩාට කළින්ම ලෙඩාගෙ ටිකට් එක අතට ලැබුන. දුවගෙන ආපු කෙනෙක්ගෙන්.මේකට මම නම් හරිම කැමතියි. මොකද ලෙඩාට ප්‍රතිකාර කරන්න සාත්තු කරන්න කලිතියාම අපි ලෑස්තියිනෙ.
අවශ්‍ය සේලයින් , ඔක්සිජන් , බෙහෙත් වර්ග ළඟට ගන්න, අවශ්‍ය විදියෙ ඇඳක් හරි ස්ථානයක් හරි සූදානම් කරගන්න හැකිවෙනව එතකොට.
එතකොට ලෙඩාගෙ ස්වර්නමය කාළය (Golden Time) අපතෙ යන එක වැලකෙනව. සමහර විට එක තත්පරයකින් රෝගියාගෙ ජීවිතය තීරණය වෙන්න පුලුවන්..ඒකයි රෝහලට ඇතුල්වෙන මුල් මිනිත්තු කිහිපය ඔය නමින් හඳුන්වන්නෙ.
නම- කිරි බණ්ඩා
වයස- 72
පිහි ඇනුම් තුවාලයක් (Stub Injury)
හ්ම්.....ඔන්න ලෙඩාත් ආව...ආව නෙවෙයි ගෙනාව. පපුවට පිහියෙන් ඇනල..ලේ උතුරන තුවාලයක් වම් පැත්තෙ. ඈත තියාම පෙනුන විදියට නම් ටිකක් විතර පරක්කු වැඩිද කියල හිතුන..
නාඩි අහු වෙන්නෙත් නෑ....හුස්මත් නැවතිල..........................................................................
ඒ වෙනකොට වාට්ටුවට දුවගෙන ඇවිත් හිටපු ඩොක්ටර් ලෙඩාව පරීක්ෂා කරන්න ගත්ත.
අපි කාගෙත් මුහුණු වල තිබුනෙ බලාපොරොත්තු කඩවීමක්..වේදනාවක්...
" ඉන්දික, patient expired !"
ඩොක්ටර් මගෙ දිහා බලල කිවුව..
ඕක තමයි කතාව..ඒත් මේක මේවිදියට ඉවර වුනේ ඇයි????
කිරි බණ්ඩා දුප්පත් මනුස්සයෙක්. රස්සාව කිරි කැපිල්ල. මනුස්සය කිරි කපල එනකොට කවුද මදාවියෙක් පිහියෙන් ඇනල.
මොන හේතුවකටද දන්නෙ නෑ..
පපුව පළාගෙන බැහැපු කිරි පිහිය එළියට ඇදල දාල,
තුන් සක රියක් හොයාගෙන තමයි කිරිබණ්ඩව ඉස්පිරිතාලෙ ගෙනහල්ල තිබුනෙ.
මම හිතන්නෙ අපේ කතාවෙ Turning Point එක තමයි ඕක..කෝකද???

පපුවට ඇනිච්ච පිහිය ගැලෙවුවෙ නැත්නම් කිරිබණ්ඩ තවම ජීවතුන් අතර ඉන්නත් තිබුන.
මොකද අපි හිතමු ඇඟ ඇතුලට බහින පිහියෙන් ඇඟට ලේ සපයන නහරයක් (ප්‍රධාන ධමනියක්) කැපුනයි කියල. කැපුන ගමන්ම අර තදට බහින පිහියෙන් මේ නහරෙ යම් පමනකට සීල් වෙනව. ලේ පිටට ගලන එක අවම වෙනව. ඒත් ඉතින් ඒක එළියට ගත්තම හෝ ගාල ලේ ගලන්න ( අභ්‍යන්තර රුධිර වහනය ) පටන් ගන්නව. ඉතින් ලේ ගියාම ජීවිත අවදානම වැඩිවෙන බව අපි දන්නවනෙව!
ඉතින් කිරි බණ්ඩට වෙලා තිබුනෙත් ඔය දෙයමයි කියල මරණ පරීක්ෂණයෙදි ඔප්පු වුනා.

කිරි බණ්ඩගෙ සිද්ධියෙන් අපිට ගන්න තියෙන්නෙ යාලුවනේ...මොනව හරි බරපතල ඇනුම් තුවාලයක් වුනහම කවදාවත් ඒ ඇනිච්ච දේ ගලවන්න යන්න එපා..වැඩිය හෙල්ලෙන්නෙ ගැස්සෙන්නෙ නැතිවෙන්න ලෙඩාව ඉස්පිරිතාලෙට ගේන්න..
අදට ඇති..කිරිබණ්ඩගෙ කතාවෙ තවත් අතුරු කතාවක් තියෙනව..ඒක පසුවට ලියන්නම්කො..

තු - ආලය.......

{ Tuesday, April 26, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }



ඕන්න කාලෙකට පස්සෙ ආපහු බ්ලොගේ පැත්තට ආව. හැමදාම වගේ කෝල් කර කර බ්ලොග් එක ලියන්නෙ නැද්ද කියල අහන යුරාජ් මල්ලිට බොහොමත්ම ස්තුතියි..ආපහු මේ පැත්තට එන්න පාර මතක් කළාට!!!

හ්ම්....ඉතින් මේ කතාව මගේ ට්‍රේනින් කාලෙ වෙච්ච සිදුවීමක් එක්ක බැඳිච්ච එකක්. හදිසියෙම මට ඒක මතක් වුනා තවත් ලෙඩෙක්ව දැකල....

ඒ දවස් වල මම Surgical Casualty Ward එකේ ඉන්න කාලෙ.
සුපුරුදු මූණක්...පුරුදු කටහඬක්....
"මහත්තයා.."
"ම්....."
"ආ...නි..හාල්. ආපහු අපිව බලන්න ආවද? ආ..."
" ඔවු මහත්තයො..මගෙ මේ තුවාලෙ තාම අඩු නැහැ නෙව..!"
"හ්ම්...ඒකතමයි...දෙන්නකො ටිකට් එක.."
නිහාල් ගල්වලක ලියන මහත්තයෙක්. මීට මාස තුන හතරකට විතර ඉස්සර මනුස්සයගෙ කකුල තුවාල වෙලා, මේ ගල්කෑල්ලක් වැදිල.
දනහිසේ තමයි තුවාලය තිබුනෙ. සාමාන්‍ය තුවාලයක්..OPD එකෙන් බෙහෙත් දමල යවල තිබුන. ඒත් නිහාල්ව මම අඳුරගත්තෙ දැනට ටික කාලෙකට කළින් අපේ වාට්ටුවට ආවම, එතකොට නම් තුවාලෙ ටිකක් ලොකුයි. හැබැයි හොඳට රතු පාටයි..පැසවල එහෙමත් නෑ.
ඊළඟට කීප වාරයක්ම නිහාල්ව මට වාට්ටුවෙදි හම්බ වෙනව... අර තුවාලෙත් ටික ටික ලොකුවෙනව..
" ම්..බලමු එහෙනම් තුවාලෙ.."
නිහාල් හොඳ පිරිසිදුවට තුවාලෙ තියාන ඉන්නව..එහෙවු එකේ මේක සනීප නොවෙන එකත් ලොකු ගැටලුවක්..
අනික මනුස්සය හොඳ නිරෝගියි..දියවැඩියාව එහෙමත් නෑ.
නිහාල්ගෙ තුවාලෙ බලපු විශේෂ වෛද්‍යතුමා සුපුරුදු පරිදි C & D, D (Clean & Dressing - Discharge ) කියල ටිකට් එකේ ලියල ගියා. හැබැයි වෙනදට ගෙදර ලඟම රෝහලෙන් බෙහෙත් දාගන්න කියල ලියල දෙන Diagnose Card එකේ අද ලියල තියෙන්නෙ අපේ රෝහලටම ඇවිත් බෙහෙත් දාගන්න කියල.
මට මේක ටිකක් අමුත්තක් වුන නිසා, පොඩ්ඩක් නිහාල් එක්ක දොඩමලු වුනා..
"නිහාල් කොහෙන්ද බෙහෙත් දම්ම ගන්නෙ..?"
" මමමයි මහත්තයො දාන්නෙ.."
" කොහොමද ඉතින් දාන්නෙ? මොනවද දාන බෙහෙත්?"
"මම ඔක්කොම ජාති ෆාමසියෙන් ඇරංගිහින් තියෙන්නෙ මගත්තයො."
තුවාලෙ ආයෙ මොකවත් නෑ සුද්ද කරනව ලේ එනකල්..
"සුද්ද කරන්න දාන්නෙ?"
"සුදු පාට වතුර.අර ඕසෙට පෙන නගින්නෙ"
"හ්ම්..පස්සෙ?"
"දම් පාට එක දානව..පුලුං කෑල්ලකින්..දාල වෙලනව "
"එතකොට නිහාල් ඕක ඉගෙන ගත්තෙ කොහෙන්ද?"
"ඉගෙන ගත්තෙ ඉස්පිරිතාලෙ බේත් දානව බලා ඉඳල..බේත් වර්ග ටික දුන්නෙ ෆාමසියෙ මහත්තය"
ඔන්න ඕකයි යාලුවනේ කතාව. එතකොට මොකද නිහාල් කරගෙන තිබුනෙ???
නිහාල් කියපු සුදු පාට වතුර බෙහෙත තමයි හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් (H2O2). මේක දාන්නෙ සාමාන්‍යයෙන් අපද්‍රව්‍ය තියෙන, නරක් වෙච්චි හම් කෑලි තියෙන පැසවපු තුවාලයක් සුද්ද කරන්නයි. ඉතින් මේව දාල දවසට සැරයක් ලේ එනකල් සුද්දකළාම මොකද වෙන්නෙ?. තුවාලෙ ඇතිවෙන, සුවවීමේ පටක(
Granulation tissue) සේරම ගැලැවිල යනව. ඉතින් තුවාලෙ හොඳවේවියැ?
ඉතින් මේ ටික නිහාල්ට පැහැදිලි කරල දීල ..ඉස්පිරිතාලෙට ඇවිත් බෙහෙත් දම්මගෙන ඉක්මනින් තුවාලෙ සනීපකරගන්න කියල ගෙදර යැවුවයි කියමුකෝ..
එතකොට අපි මොනවද දැනගන්න ඕනෙ...
හැමවෙලේම ටිකක් බරපතල තුවාලයක් වුනාම ඒකට වෛද්‍ය නිර්දේශය මතම බෙහෙත් දාන්න ඕන. ඒ වගේම ඒ තුවාලෙට එකසැරේකට වඩා බෙහෙත් දාන්න වෙනවනම්, ඒකට දාන බෙහෙත් වර්ගය, ඒක සුද්දකරන්න ඕන මොනවයින්ද කියන තීරනය ගන්නත් වෛද්‍යවරයාටම ඉඩදෙමු. ඔන්න ඔය තීරනය තමන් හරි බේත් දාන කංකානම් මහත්තය හරි ගත්තොත් තමයි ලෙඩේ..!!!