සැඟවුන මාරයා..

{ Saturday, August 29, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }

පින්තූරෙ ගත්තෙ මෙතනින්
http://blogs.dogster.com/vet_blog_information_advice/files/2009/01/rabies_patient.jpg
මේ සිද්දිය මට කිවුවෙ මගෙ හිතවත් වෛද්‍යවරියක්. මේකත් මහරෝහලක වෛද්‍ය වාට්ටුවෙ වෙච්චි සිදුවීමක්, දැනට අවුරුදු දහයකට විතර ඉස්සර.
මේ කතාව කියපු ඩොක්ටර් ඒ කාලෙ ඔය වාට්ටුවෙ කනිෂ්ට වෛද්‍යවරියක්ලු. ඔන්න දවසක් අවුරුදු විස්සක් විතර වුන තරුණ පිරිමි ළමයෙක් යටිබඩ කොරවෙලා කියල ඔය වාට්ටුවට ඇතුල් කරල තියනව. ඉතින් මෙයාව බලල, මූත්‍රා අමාරුවක් කියල හිතල, ඒකට කරන්න තියන පරීක්ෂණ හෙම කළාලු. බෙහෙත් වර්ග කීපයකුත් පටන් ගත්තලු. පස්සෙ පරීක්ෂණ වාර්තා බැලුවම ඒවයෙ මුකුත් වෙනසක් තිබුනෙ නැතිලු.
ඉතින් මේ වාගෙ වෙලාවල් වලට කරන්නෙ රෝගියාගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරන එක තමයි. කොහොම වුනත් ඊළඟ දවසෙත් මෙයාගෙ යටිබඩ කොරවීම අඩුවෙලා නෑ.
පස්සෙ ඩොක්ටර් මෙයාගැන විශේෂ වෛද්‍යවරයාට කියල එයාගෙන් උපදෙස් අරන් තියනව. එයාත් ලෙඩා බලල බෙහෙත් වර්ග කීපයක් අලුතෙන් එකතුකලාලු. නමුත් මේ කිසිම බෙහෙතකට ලෙඩාගෙ අමාරුව අඩුවෙච්චි පාටක් නම් පෙනුනෙ නැහැලු.
මෙයාට තිබ්බ එකම අමාරුව මේ බඩේ කොරය විතරලු. කිසිම උණක්, ඇඟපත අමාරුවක් වත් තිබුනෙ නැහැලු.
හතර වෙනි දවස වෙද්දි ලෙඩාගෙ අමාරුව හොඳටම වැඩිවෙලා..ඩොක්ටර් ලෙඩ්ඩු බලන මේසෙ ළඟට මෙයා ඇවිත් " අනේ මගෙ බඩ කොරවෙලා " කියල කෑගහල, හරිම නොසන්සුන් විදියට වාට්ටුවෙ දුවන්න පටන් ගත්තලු. ඉතින් මෙවේලෙත් විශේෂ වෛද්‍යවරයා ලෙඩාව බැලුවලු. අන්තිමට කිසිම දෙයක් හොයාගන්න බැරිවෙච්චි හින්ද ස්කෑන් පරීක්ෂනයක් කළාලු. ඒත් මොන ලෙඩක් වත්, ලෙඩක හෝඩුවාවක් වත් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ඩොක්ටර්ස්ල කතාවෙලා තීරණය කළාලු මෙයා මානසික වෛද්‍යවරයෙකුට පෙන්නමු කියල. ඊළඟ දවසෙ උදේට ඒක කරන්නලු හිතන් හිටියෙ.
කොහොම හරි එදා දවසෙ රෑ Oncall Room එකේ ඉන්නැද්දි ඩොක්ටර්ට වාට්ටුවෙන් කෝල් එකක් ආවලු ඉක්මනට එන්න කියල.මෙයා වාට්ටුවට යනකොට අර ලෙඩා කටින් සෙම දාගෙන , උගුරෙන් සද්ද කර කර , සිහි නැතිව හිටියලු. විනාඩි ගනනකින් අසරණ ළමයගෙ පණ ගියාලු. මේ දේ වෙලා තියෙන්නෙත් එක පාරටමලු. ලෙඩා බාත්රූම් ගිහින් ඇඳට ආව විතරයි කියල ළඟ හිටපු ලෙඩ්ඩු කීවලු.
මේ අවාසනාවන්ත සිදුවීමෙ හේතුව හොයන්න මෙයාට පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න තීරණය වුනාලු. ඒකෙදි මිනිය කපල බලල, ලබාගත්තු කොටස් වැඩිදුර පරීක්ෂණ වලට යවනව. අන්තිමට හොයාගත්තු විදියට තිබිල තියෙන්නෙ මොකක්ද දන්නවද? ජලභීතිකාව ! ඒ කිවුවෙ පිස්සු බලු රෝගෙ.
ඊට පස්සෙ මෙයාගෙ නෑදෑයින්ගෙන් අහල තිබුන බල්ලෙක් හෙම හැපුව කියල මේ ලෙඩා කිවුවද කියල. මේ මිනිස්සු කිවුවලු මාස අට නවයකට කළින් එහෙම කතාවක් කිවුව වගේ යන්තමට මතකයි කියල. ඒකට බෙහෙත් විදින්න තියා ඒක ගැන හිතලවත් තිබිල නැහැලු.
ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි බල්ලෙක් කාපු බව මේ ළමයට මතකවත් තියෙන්න නැතුව ඇති.මැරෙන වෙලාවෙ වෙද්දි කිසිම බාහිර තුවාලයක් ඇඟේ තිබුනෙත් නැහැලු.
වාට්ටුවෙ අයත් කොටින්ම විශේෂ වෛද්‍යවරය පවා මේ ළමයට ජලභීතිකාව ඇතිකියල හිතලවත් නෑ. මොකද එහෙම රෝග ලක්ෂණයක් වත්, ඉතිහාසයක් වත් මෙයාගෙන් නොපෙනිච්ච හින්ද.
මේවගෙ සමහර ලෙඩ්ඩුන්ට රෝග ලක්ෂණ එළියට පෙන්නන්නෙ නැතිව (Asymptomatic) බොහොම දරුණු රෝග පවා හැදෙනව. සාමාන්‍යයෙන් පිස්සු බල්ලෙක් කාල ඔච්චර කාලයක් යන්නෙ නෑ මනුස්සයෙකුට ලෙඩේ හැදෙන්න. ඒත් ඉතින් අවාසනාව මේ ලෙඩාට උපරිම විදියට බලපාල තිබිල කියලයි මටනම් හිතෙන්නෙ.
ඉතින් මේ මරණෙ කාගෙ වරදින් වුනාද කියල කියන්න නම් මට දැනෙන්නෙ නෑ. නමුත් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මේ අත්දැකීම තවත් ජීවිතයක් බේර ගන්නට, මටනම් හරිම වැදගත්.
මේ කතාවෙන් මම ඔයාලට කියන්නෙ මෙන්න මේ ටික : බල්ලෙක්, පූසෙක්, ලේනෙක් මීයෙක් වගේ මොන ක්ෂීරපායී සතෙක් හරි හැපුවොත්, සීරුවොත්, තුවාල වෙච්චි හීරිච්චි තැනක් ලෙව කෑවොත් හරි ඉක්මනට රෝහලකට ගිහින් වෛද්‍යවරයෙකුට පෙන්නගන්න. බෙහෙත් විදින්න ඕනෙද නැද්ද කියන තීරනය වෛද්‍යවරයට ගන්න ඉඩ දෙන්න. ඒ අපේ වටිනා ජීවිතය වෙනුවෙන්.....!

මානසික රෝගියා..

{ Friday, August 28, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් http://jf.equinoxe.free.fr/equinoxev3/galeries/melancolie/schizophrenia.jpg
අද මම කියන්න ලෑස්තිවෙන කතාවට සම්බන්ධ අත්දැකීම මට ලැබුනෙ මුල්ලේරියාව මානසික රෝහලේදි. අපේ පුහුණුවෙම කොටසක් විදියට මානසික හෙදකම ( Psychiatric Nursing ) සායනික පුහුණුව දෙන්නෙ මුල්ලේරියාවෙයි, අන්ගොඩයි මානසික රෝහල් වල තමයි.
ඔය මම කියන්න යන ලෙඩා අවුරුදු තිහක විතර පිරිමි කෙනෙක්. අමුතුම කඩවසම් කමකුත් මනුස්සයට තිබුන. කොටින්ම හැන්ඩි කොල්ලෙක්. මෙයාට තිබිච්චි ලෙඩේ තමයි එක දිගටම පැය ගානක් එකම තැනක් දිහා බලන් ඉන්න එක. බලාගෙන බොහොම හෙමීට මොනවද කියනව. කඳුලු පිහිදනව. ඔන්න ඔය වෙලාවට කවුරුහරි ළඟට ගියොත් හෙම මනුස්සය එකපාරටම බය වෙලා වගෙ අර කර කර හිටපු වැඩේ නවත්තනව,බොහොම නොසන්සුන් වෙනව. මෙයාට හැදිල තිබ්බ මානසික ලෙඩේට කියන්නෙ "සිට්සොපීනියා"( Schizophrenia ) කියල.
දවසක් මම බොහොම හෙමින් මනුස්සය ළඟට කිට්ටුකරල මේ මොනවද කුටු කුටු ගාන්නෙ කියල අහන් හිටිය.
"ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ?"
"මාව දාල යන්නෙපා"
"මම ඔයාට ගොඩක් ආදරෙයි"
ඔන්න ඔය විදියට එක එක දේවල් තමයි මෙයා කියවන්නෙ. කියන කොට ඇස්වලින් කඳුලුත් එනව.
ඉතින් මම මෙයාගෙ රෝග ඉතිහාසය ගැන පුන්චි සෙවිල්ලක් දාන්න හිතුව. මේ ලෙඩ්ඩු අපිත් එක්ක හරිම කුලුපග වෙනව දිගටම ඩියුටි කරනකොට. ඉතින් ඒක හින්දම බොහොම හෙමින් මම මේ මනුස්සයගෙන් එයා ගැන විස්තර අහගත්ත, දවස් ගානක් උත්සාහ කරල. අන්තිමට මම මේ ලෙඩා ගැන සාර්ථක නිබන්ධනයක් පවා කළා.මෙයා උඩරට පැත්තෙ ඇඟලුම් කර්මාන්ත ශාලාවක පිරිස් කළමනාකරුවෙක්ලු. අම්ම තාත්ත දෙන්නම තරුණ කාලෙම නැතිවෙච්චි හින්ද තනියමමලු හිටියෙ. ඔන්න ඔය අතරෙදි බොහොම සල්ලිකාර ගෑනු ළමයෙක් මෙයාට සෙට් වෙලා තියනව. ටික කාලෙකට පස්සෙ ඉතින් මේ ජෝඩුව කසාද බැඳල තියනව.එතකොට අපේ යාලුවට අවුරුදු විසි පහක්ලු. ඉතින් මේ දෙන්න බොහොම සතුටින් හිටියලු. නෝනගෙ ගෙදරම තමා මෙයාල ඉඳල තියෙන්නෙ. මෙ ගොල්ල සතුටින් හිටපු කාලෙ ගැන කියනකොට අහින්සක මනුස්සය පුදුම උද්‍යෝගයකින් කතාකලේ.
ඉතින් ටික කාලෙකට පස්සෙ මෙයාගෙ ලින්ගේන්ද්‍රියෙ පුන්චි සුදුපාට බිබිලක් ඇවිත් තියනව. නිකම්ම ඒක ආව කියල තමයි මෙයානම් කියන්නෙ. ඒත් ඒක එන්න එන්නම ලොකුවෙලා තුවාලයක් වුනාලු. ඒක හින්දම මෙයාට වයිෆ් එක්ක එකට ඉන්න එක පවා ගොඩක් වේදනාකාරී වුනාලු. තුවාලෙ වැඩිවෙන්න වැඩිවෙන්න මේ මනුස්සයට සෙක්ස් ලයිෆ් එක අතැරල දාන්න වුනාලු. පුදුම වැඩේ කියන්නෙ එයා මේක කාටවත් කියලත් නෑ, දොස්තර කෙනෙකුට පෙන්නල බේත් ඇරගෙනත් නෑ. වයිෆ්ටවත් කිවුවෙ නෑලු (????).
කොහොමින් කොහොම හරි මේ තුවාලෙ හින්දම මෙයාට පවුල් ප්‍රශ්නත් ටික ටික එන්න ගත්තලු. ඒව ඉවරවෙලා තියෙන්නෙ වයිෆ් මෙයා අතඇරල දාල යන එකෙන්. මනුස්සයට මේකෙන් යන එන මන් නැතිවුනාලු. ඇයි හිටියෙත් ගෑනිගෙ ගෙදරනෙ. ඊට පස්සෙ මෙයා වැඩට යන්නෙත් නැතුව යාලුවන්ගෙ ගෙවල්වල ඇවිද ඇවිද හිටියලු....එතනින් එහාට එයා දන්නෙ දැන් මේ එයාගෙ මහ ගෙදර ඉන්නව කියල විතරලු. මහ ගෙදර කියන්නෙ මේ ඉස්පිරිතාලෙ. එයා හිතන්නෙ මේ එයා පුන්චි කාලෙ හිටපු ගෙදර කියල.
ඔන්න එතනින් එහාට, මනුස්සයට මතක නැති ටික මම හොයාගත්තෙ මෙයා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරපු දවසෙ හිටපු ඇටෙන්ඩන්ට් කෙනෙකුගෙන්. ගෑනි ගියාට පස්සෙ රස්තියාදු ගගහ හිටපු මෙයා හිටිගමන් පිස්සු නටන්න පටන් ඇරන් තියනව. යාලුවො මෙයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චම එහෙන් තමා මෙයාව මෙහෙට එක්කන් එන්න කියල තියෙන්නෙ. දැන් ඉතින් අවුරුදු තුනක් තිස්සෙම මුල්ලේරියාවෙ.
ලෙඩාගෙ පෙර ශල්‍ය ඉතිහාසය ( Past Surgical History ) හොයල බැලුවම, මෙයාගෙ ලින්ගේන්ද්‍රියෙ තිබිල තියෙන්නෙ සැරව බිබිලක් ( Pustule ) මේකට බේතක් නොකර බලන් ඉඳල තමයි ගොඩක් තුවාලෙ වැඩිවෙලා තියෙන්නෙ. අන්තිමට ලින්ගයෙන් කොටසක් අහක්කරන්නත් වෙලා තුවාලෙ සනීප කරන්න. මෙයාට සමාජ රෝග හෙම හැදිල තිබිලත් නැහැ කියල වාර්තා වල තියනව.
කොහොම වුනත් නොසැලකිල්ල හරි ලැජ්ජාව හරි බය හරි මොන හේතුවකටද මන්ද සමඟියෙන් හිටපු පවුලක් කඩාකප්පල් වෙලා, අසරන තරුණ මනුස්සයෙක් සදාකල් මානසික ලෙඩෙක් වුනා. අපිටත් හිතන්න දේවල් ගනනාවක්ම මේ සිදුවීම ඇතුලෙත් තියනව.....
ඉතින් අපේ ලෙඩා ගැන මොකද? මිනිහ දැනටත් බිත්ති මුල්ලකට වෙලා වයිෆ් එක්ක කතාකරනව ඇති..!

ජිම් එකේ අයියන්ඩි...

{ Monday, August 24, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින්..http://www.lifeinyouryears.net/blog/wp-content/uploads/2008/07/bicepcurl.jpg

මේ අත්දැකීම මගෙ යාලුවෙකුගෙ එකක්. ඔය යාලුව මහ රෝහලක නෙව වැඩකරන්නෙ. ඔන්න එහෙනම් කතාව.
වයස අවුරුදු දාසයක, දාහතක වගේ පිරිමි ළමයි හතර දෙනෙක්ම එකවර යාලුව වැඩකරන වාට්ටුවට ඇතුල් වෙන්න ඇවිත්. හතර දෙනාටම තියෙන්නෙ එකවාගෙ රෝග ලක්ෂණ ලු. මේ ගොල්ල එකම ප්‍රදේශයෙ අයලු. ඒත් වෙනස් ඉස්කෝල වල, වෙනස් ගම් වල අයලු. මෙයාලට තිබිච්චි ලෙඩේ, අත පය වෙවුලනවලු, ඇස් නිලන්කාර වෙනවලු, ඇඟපත පණ නැතිවෙනවලු දවසට දෙතුන් සැරයක්.
මගෙ යාලුව ඉන්නෙ ස්නායු සම්බන්ධ වාට්ටුවක. ඉතින් වාට්ටුවෙ ඩොක්ටර්ස්ල එක එක පරීක්ෂණ කරල, එක්ස් රේ ඇරන්, සී.ටී ස්කෑන් කරල, ස්නායු සම්බන්ධ පරීක්ෂණ කරල, නමුත් මේ ලෙඩේට හේතුව නම් හම්බ වෙලා නෑ. එක එක ඉස්කෝල වල, ගම්වල හින්ද කෑමෙන් වතුරෙන් ලෙඩේ හැදුන කියල හිතන්නත් අමාරුයිනෙ.
කොහොම කොහොම හරි මෙයාලගෙ Social History (සමාජ තොරතුරු ) ගනිද්දි පුන්චි කාරණයක් එළි කරගන්න පුලුවන් වෙලා. ඒ තමයි මේ අය ඔක්කොමල්ලා අවුරුද්දක විතර ඉඳල ටවුමෙ තියන ජිම් එකට( කාය වර්ධන මධ්‍යස්ථානෙට ) යනවයි කියන එක. ඒත් මේ ළමයි හතර දෙනාම කෙට්ටු අයලු. අපේ අය විහිලුත් කළාලු ඒක කියල. ඒත් ඉතින් ජිම් යන්නෙ මේ අය විතරක් නෙවෙයි නෙ. එහෙනම් අනිත් අයටත් මෙහෙම වෙන්න එපායැ.
ඉතින් මේ කාරනේ ගැන ටිකක් වැඩිපුර හොයාගෙන යද්දි, මේ එක ළමයෙක් කියල තියනව ජිම් එකේ අයිය හැමදාම ජිම් එකට ගිය ගමන් එයාලට කිරි වීදුරුවක් බොන්න දෙනව කියල. තවත් කෙනෙක් කියල ඒ කිරි එකට මොනවද පෙති දෙකකුත් දියකරනව දැකල තියනව කියල. මේ ගොල්ල ජිම් එකට ගිය අවුරුද්දක විතර කාලෙ ගිය හැමදාම මේ කිරි වීදුරුව ලැබුනලු. හැබැයි ඒක දෙන්නෙ කෙට්ටු අයට විතරයලු. ඒක බිවුවම ඇඟට මාර ෆිට් ලු.
ඉතින් මෙයාලට කරන්න ඕන විශේෂ ප්‍රතිකාර කළාම දවස් ගානකින් පස්සෙ අර ලෙඩවල් ටික ටික අඩු වෙන්න ගත්තලු.
කොහොමින් කොහොම හරි දවසක් වාටිටුවෙ අය කථාවෙලා මේ දරුවන්ගෙ අම්මල තාත්තල සිද්දිය ගැන දැනුවත් කරල, ඒ ගොල්ල මාර්ගයෙන් අර "ජිම්" අයියව වාට්ටුවට ගෙන්නගෙන තියෙනව.
නර්ස්ල , ඩොක්ටර්ස්ල එකතුවෙලා ජිම් අයියන්ඩිගෙන් අහල තියනව මොනවද මේ ළමයින්ට දෙන කිරි කියල. මෙයා වෙළඳපොලේ තියන කායවර්ධනයට ගන්න කිරි වර්ගයක නමක් කිවුවලු. පස්සෙ අහල තියනව අර කිරි එකට දියකරල දෙන පෙති මොනවද කියල. මිනිහ කිවුවලු එහෙම මොනවත් දෙන්නෙ නෑ කියල. සෑහෙන පාරක් ඇහුවත් කිවුවෙ නැති තැන, රෝහල් පොලීසියෙන් ගෙන්නල, ඇසින් දුටු සාක්ෂිත් තියන හින්ද ඇරෙස්ට් කරනව කියල බයකළාලු. මනුස්සය බයටම ඇත්ත කිවුවලු.
එයාට ඒ පෙති හම්බවෙන්නෙ මැද පෙරදිග ඉන්න නෑදෑකෙනෙක්ගෙන්ලු. එහේ ක්ලබ් වල ඒව පාවිච්චි කරනවලු. මෙයා මේව කෙට්ටු අයට දුන්නෙ මහන්සි නැතිව ව්‍යායාම කරන්න පුලුවන් වෙන්නලු.
අන්තිමට මේ පෙති ගැන හොයල බැලුවම ඒව Opium අඩන්ගු මත් පෙති වර්ගයක්ලු..!! (Opium කියන්නෙ හෙරොයින් වගේම පොපි ගෙඩි වලින් හදාගන්න විෂ මත් ද්‍රව්‍යක්.)
පින්තූරෙ තියෙන්නෙ පොපි ගෙඩියක්. මේවයෙ කිරි වලින් තමා Opium හදන්නෙ. පේනවද ගෙඩිය සූරල කිරි ඇවිත් තියන හැටි.
පින්තූරෙ ගත්තෙ මෙතනින්..eldib.wordpress.com/.../
ඔන්න ඉතින් ඔය කරුණු කාරණා එළි පෙහෙළි උනායින් පස්සෙ අපේ "ජිම්" අයියන්ඩි පොළිස් අත් අඩන්ගුවට පත් වුනාලු. නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම, බාල වයස් කාරයන්ට ලබාදීම..ආදී මෙකී නොකී වැරදි වලට.පොළීසිය විශ්වාස කරන්නෙ මෙයා මේව අත්හදාබලන්න දරුවන්ට දීල තියනව කියලලු.
ඔන්න ඕක තමයි යාලුවනෙ කතාව. ඉතින් අපි අපේ සමාජය ගැන කොච්චර අවධානයෙන් ඉන්න ඕනෙද? අපේ දරුවො, නන්ගිල මල්ලිල යන එන තැන් විතරක් නෙමේ කනබොන දේවල් ගැන පවා විමසිලිමත් වුනොත් අපිත් අපේ පුන්චි පරම්පරාවත් මේවගෙ නරුම මිනිස්සුන්ගෙන් බේරගන්න අපිට හැකිවේවි.

දත් කුට්ටම..

{ Wednesday, August 19, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.allina.com/.../page/Video_Laryngoscope
මේ සිද්ධියත් අපි හැමෝටම මතක තියාගත්තට පාඩු වෙන්නෙ නැති එකක්. මේක මගේ ජීවිතෙත් අමතක නොවෙන සිද්ධියක්. ඔන්න අවුරුදු තිහක විතර පිරිමි කෙනෙක් හවස හතරට විතර අපේ වාට්ටුවට ඇඩ්මිට් වුනා. බඩේ දැවිල්ලයි ඉවසන්න බැහැ කියල තමයි වාට්ටුවට ආවෙ. මෙයාට කොහොමටත් ගැස්ට්‍රයිටිස් තියනවලු. අපි ඉක්මනින් ප්‍රතිකාර ටික කළා. ටික වෙලාවකින් බඩ දැවිල්ල අඩුයි කියල මනුස්සයම ඇවිත් කිවුව.
හවස හයට විතර මෙයා ආපහු බඩ දැවිල්ලයි කියල කෑ ගහන්න පටන් ගත්ත. සමහර ලෙඩ්ඩුන්ට පපුවෙ අමාරුත් ඔය විදියට දැනෙන හින්ද, මම කෝකටත් කියල ඊ.සී.ජී එකක් ගන්න ලෑස්තිවුනා. ඊ.සී.ජී. එක දාන අතරෙ මට තේරුණා ලෙඩාට අමාරු වේගෙන එන බව. ඉක්මනට ඩොක්ටර්ට කතාකරල, Emergency Trolly (ඒකෙ තමයි ලෙඩෙකුට අමාරු වුනාම පාවිච්චි කරන බෙහෙත් වර්ග, උපකරන එහෙම දාල තියෙන්නෙ) එකත් ළඟට ගෙන්නව ගත්ත. ඔය තත්පර කීපය ඇතුලත ලෙඩාගෙ හුස්ම ගැනීමයි, හදවතේ ගැස්මයි දෙකම නතර වෙලා.
මම ඉක්මනට ලෙඩාගෙ පපුව මසාජ් කරන්න( Hart masarge ) පටන් ගත්ත.තව නර්ස් කෙනෙක් ඔක්සිජන් එක්ක ලෙඩාට කෘතිම ශ්වසනය දෙන්න පටන් ගත්ත.
මේ වගෙ වෙලාවකදි පුලුවන් ඉක්මනින් ලෙඩාගෙ කටින් බටයක්( Endotrchial Tube\ET Tube ) පෙනහලු ආසන්නයට දාල ඒකෙන් ඔක්සිජන් පෙනහලු වලට දෙන එක තමයි කරන්න තියන හොඳම සහ කල යුතුම දේ වෙන්නෙ. ඉතින් අපි Laryngoscope ( ලෙඩාගෙ උගුර බලාගන්න සහ ටියුබ් එක ඇතුලු කරන්න උගුර පාදාගන්න පාවිච්චි කරන වක්‍රාකාර ලෝහ උපකරණයක්) එක මෙයාගෙ කටට දාල ඊ.ටී ටියුබ් එක දාන්න උත්සාහ කළා.

මෙන්න ඊ.ටී ටියුබ් එක සහ Laryngoscope එක.
පින්තූරෙ මෙතනින් ගත්තෙ www.brandianestesia.it/english/genanesth.html
යාලුවනේ, මෙතන තමයි මගෙ කතාවෙ වැදගත්ම තැන. ටියුබ් එක දාන්න හදනකොට මම දැක්ක පොඩි සුදුපාට මොකක්හරි දෙයක් උගුරෙ පැටලි පැටලි තියනව වගේ. අපි හිතුවෙ ඒ සෙම වෙන්න ඇති කියල. ඒත් ටියුබ් එක තල්ලුකරන කොට ඒක හැප්පෙන ගතියක් දැනෙනව කියපු නිසා, මම අඬුවක් ( Forcep ) දාල ඒක ගන්න උත්සාහ කළා..ගත්ත..කොහොම හරි අමාරුවෙන්. මේ වගෙ වෙලාවකදි ලෙඩාට විනාඩි තුනක් විතර ඇතුලත ටියුබ් එක දාල ඔක්සිජන් දී ගන්න බැරිවුනොත් එයාගෙ මොලේ මැරෙන්න පුලුවන්. එහෙම වුනොත් ඉතින් වැඩක් නෑනෙ. ඒක හින්ද මේ හිරවෙලා තිබ්බ දේ ගන්න ගිය වෙලාවත් ලෙඩාගෙ පැත්තෙන් උපරිමටම වැදගත්.
ආ...ලෙඩාගෙ උගුරෙ හිරවෙලා තිබුනෙ මොකක්ද දන්නවද?..කෘත්‍රිම දත් දෙකක්..! වාසනාවට මේක පෙනෙන දුරින් හිරවෙලා තිබුනෙ. නැත්නම් ලෙඩාට දෙවියන්ගෙම පිහිට තමා. ඉතින් අමාරුවෙන් ටියුබ් එක දාගෙන ඔක්සිජන් දුන්න.
පැය බාගෙක විතර වෙහෙසකර උත්සාහයකින් පස්සෙ මෙයාට සිහිය ආව. (අපේ රැකියාවෙ තෘප්තිය දැනෙන්නෙ ඔන්න ඔය වගෙ මැරිල හිටපු ලෙඩ්ඩුන්ව ගොඩ ගත්තු වෙලාවල තමයි.ඒ අය ගෙ නෑදෑයින් ගෙ දරුවන්ගෙ සතුට දකිනකොට පුදුම සතුටක් අපිටත් දැනෙන්නෙ.)
මෙයාට හදිසි පපුවෙ අමාරුවක් තමයි හැදිල තිබුනෙ.වෙලාව හොඳ හින්ද බේරුණා.
මේ කතාව ඔයාලට කිවුවෙ මෙන්න මේ පුන්චි කාරණේ අවධාරනය කරන්නයි...ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙලා ඉන්නකොට කොයිම වෙලාවකවත් බොරු දත් දාගෙන ඉන්න එපා. ඔයාලගෙ වැඩිහිටියන්වත් දැනුවත් කරන්න මේ ගැන. මේක බොහොම පුන්චි දෙයක් වුනාට සමහර විට ජීවිතයෙන් පවා වන්දිගෙවන්න වෙන බරපතල දෙයක් වෙන්නත් බැරි නැහැ නේද?

මල්ලිගෙ ෆුල් බොඩි චෙකප් එක...

{ Tuesday, August 18, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.mortonmedical.co.uk/Seca_CT8000i_ECG_Mach.
අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක්. මේක වුනේ මගෙ නෑදෑවෙන මල්ලි කෙනෙකුට. මේ කතාවෙ කියවෙන්නේ හරිම ප්‍රසිද්ධ, නම කීව ගමන් කවුරුත් පාහෙ දන්න ප්‍රයිවෙට් හොස්පිටල් එකක් ගැන. මේකයි කතාව,
ඔය මල්ලිට කැස්සක් හැදිල ඒක මාස දෙක තුනක්ම තිබිල තියනව. ඉතින් මනුස්සයත් ටිකක් කල් මේක ගනන් ගන්නෙ නැතුව ඉඳල, බැරිම තැන වෙන්ඩ ඇති බෙහෙත් අරන් තියනව. ඒව බීලත් මේ කැස්ස අඩුවෙලා නෑ. ඊට පස්සෙ සුපුරුදු විදියට තව දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ඇරන්..ඒත් අඩු වෙච්චිනැති හින්ද, මිනිහ මට මේක කිවුව. මම ඉතින් මලයගෙ කැරැට්ටුව දන්න නිසා ගත්කටටම කිවුව
"මල්ලි සිගරට් බොන එක නතර කරන්න වෙයි..ඛ්‍රොන්කයිටිස් ( පෙනහලු නාල වල ඇතිවෙන ඉදිමුමක්/ආසාදනයක් ) වලට වගේ ඇවිත් ඇති ඒකයි අඩුවෙන්නෙ නැත්තෙ, කෝකටත් මාව හම්බෙන්න එන්නකො" කියල. මොකද මනුස්සය හරියට සිගරට් බොනව කියල මම දන්නව. මිනිහත් ඒක පිළිගත්ත. කොහොම කොහොම හරි සතියක් විතර ගියා..මෙන්න දවසක් උදේම මට මනුස්සය කෝල් කරල කියනව, "අයිය, මම දැන් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න යන්න ලෑස්ති වෙලා ඉන්නෙ". කියල.
මට පුදුම හිතුන, ඇයි යකඩො කැස්සට කවුද ෆුල් බොඩි චෙකප් කරන්නෙ කියල. මම මුකුත් කිවුවෙ නෑ..ඇයි ඉතින් මෙයා යන්න එළියටත් බැහැලනෙ මට කිවුවෙ. දැන් එපා කියන්නෙ කොහොමද?.
කෝකටත් මම ඇහුව යන්නෙ මොන හොස්පිටල් එකටද කියල, සු**** ටලු. හ්ම්....ඒවට ගෙවන්නෙ එයාගෙ කොම්පැණියෙන්ලු. ආ..මට කියන්න බැරි වුනානෙ මලය වැඩකරන්නෙ ප්‍රයිවෙට් කොම්පැණියක, පාරිභෝගික සේවා අන්ශෙ.
ඔන්න ඉතින් මනුස්සය
හොස්පිටල් ගියා..මාත් ඉතින් වැඩට ආව. හවස් ජාමෙ ඔන්න ආයෙ කෝල් එකක්. මිනිහ අඬ අඬා වගේ මට කියනව,
"අයිය මගෙ ලේ වල සීනි වැඩියිලු..අද නවතින්න කිවුව.: කියල. මමත් මනුස්සයගෙ හිත හදල, ආව එකේ ඉඳල ඉතිරි පරීක්ෂනත් කරගෙනම එන්න කීව.
ඔන්න එදා දවස ඉවරයි.........පහුවදා..මල්ලි කියනව..අනේ අයිය මගෙ ඊ.සී.ජී (E.C.G.)එක හොඳ නෑලු. අදත් ඉන්න කිවුව, හෙටලු Cardiologist එන්නෙ.
මට මේ සිද්දිය එච්චර ඇල්ලුවෙ නෑ. මොකද අවුරුදු විස්සක විතර මෙයාට, අනික මේ හොඳට මහන්සිවෙලා දුවල පැනල ඉන්න කොල්ලට මේ මොනාද තියනව කියන ලෙඩ..!
මම සු**** හොස්පිටල් එකට කෝල් එකක් ගත්ත. ඇහුව ලෙඩාගෙ තත්වෙ. එතෙන්දි..එහෙන් කියනව
"සර්..මේ ලෙඩාට Diabetic තියනව, ටිකක් සීරියස් පපුවෙ අමාරුවකුත් තියනව.හෙට
Cardiologist ට පෙන්නන්න දාල තියෙන්නෙ. Echo Cardiogram (හාට් එක බලන්න කරන පරීක්ෂණයක්) එකකුත් කරනව හෙට.." කියල..
මම මාව අඳුන්වල දීල, රිපෝට්ස් වල තත්වෙ ඇහුව. ඒව ටිකක් යන්තමින් කිවුවට මට තේරුනා කතාකරපු ගෑනිට, ඒවයෙ මෙලෝ හසරක තේරුමක් නෑ කියල.
මට තේරුණා මෙතන මොකක් හරි ගැටයක් යන විත්තිය. මම මල්ලිගෙ ගෙදර අයත් එක්ක කතා කරල, තීරණයක් ගත්ත, බලෙන් ටිකට් කපවගෙන එන්න. මොකද ඒ වෙද්දි මල්ලි හොඳටම මානසිකව වැටිලයි හිටියෙ. මට ඇත්තටම බයත් හිතුන මෙයාට Depression (මානසික රෝගයක්)හැදෙයි කියල. ඇයි අප්ප මේ හොඳට හිටිය එකාට මෙච්චර ලෙඩ ගොඩක් කියනකොට.
ටිකට් කපාගන්න යනකොටත් එයාල කැමති වෙලා නෑ. අන්තිමට බලෙන්ම බිල ගෙවල ඇවිත්..වැඩිය නෑලු 25000 යි. ටෙස්ට් දෙක තුනකට..!පුහ්..!
ගෙදර ආවට පස්සෙ මිනිහ ඔන්න මාව හම්බවෙන්න එනව, හොස්පිටල් එකට...මෙච්චර කල් කට කැඩෙනකල් කීවත් ආවෙ නෑ..ඔන්න දැන් තමා දුප්පත් අපේ රෝහල මතක් වුනේ.
ආව ගමන් මම ලේ වල සීනි (R.B.S.) එකක් බැලුව..අනේ කිසි අවුලක් නෑ. ඊ.සී.ජී (E.C.G.)එකකුත් ඇරන් ඩොක්ටර්ට පෙන්නගත්ත..ඉහෙන් බහින හෙනයක් නෑ මූට.
ඕන්න තත්වෙ...ඒක නෙවෙයි හොඳම කතාව, මල්ලි ගියෙ කැස්සට බේත් ගන්නනෙ. ඒත් තාම කැස්ස අඩු නෑ. අඩු තරමෙ කැස්සට කරන එක පරීක්ෂනයක් වත් කරලත් නෑ. හෙන ගහන්න එපාද මුන්ට..!
ඊට පස්සෙ අපේ හොස්පිටල් එකෙන්ම කැස්සටත් බෙහෙත් ඇරන් දුන්න.
යාලුවනේ ඔන්න ඕකයි අපේ රටේ රෝහල් මුදලාලිලාගෙ තත්වෙ. කඩාගන්න පුලුවන් තැනින් කුට්ටිය කඩාගන්නව ලෙඩ දාහක් විතර පටවල. හැකි හැම වෙලාවකම අපේ රජයෙ රෝහලකට යන්න. එහෙම නැත්නම් නිකම් ලෙඩ්ඩු වෙලා..මුදලාලිල පෝසත් කරන්න තමයි වෙන්නෙ.කොහොමත් නැති ලෙඩට බෙහෙත් බොනකොට නිකම්ම ලෙඩ්ඩු වෙනවනෙ.
ඉතින් බයටම මලයා සිගරට් බොන එකත් නවත්තල, දැන් කැස්සත් නෑ..ආයෙ අර හොස්පිටල් එක පැත්ත බලාගෙන නිදියන්නෙවත් නෑලු....!

මාමගේ කරුණාව..

{ Sunday, August 16, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් tumeke.blogspot.com/2007_10_01_archive.htm
මේක දැනට මාස පහ හයකට කළින් වෙච්චි සිද්දියක්. එදත් මගෙ නයිට් ඩියුටි දවසක්. ඩියුටි පටන් ගන්න කළින් වාට්ටුවෙ මුළ ඉඳලම ලෙඩ්ඩුන්ව බලාගෙන, වචනයක් දෙකක් එහෙමත් නැත්නම් හිනාවක් හරි දාල වැඩට බහින එක මගෙ පුරුද්ද. එහෙම කරන්නෙ වාට්ටුවෙ ඉන්න, අමාරු වැඩිපුර අවධානය යොමුකරන්න ඕන ලෙඩ්ඩුන්ව අඳුන ගන්නත් එක්කයි.
ඉතින් ඔන්න ඔය රාජකාරිය පටන් ගන්න කොටම, ඉස්සෙල්ලම ඇඳේ ඉන්නව පුන්චි ලස්සන කොලු පැටියෙක්. අවුරුදු දොලහද කොහෙද, මට මතක හැටියට. මම ඉතින් ටිකට් එක බැලුව. බඩේ අමාරුවකට ඇවිත් තියෙන්නෙ. උදේ ඉස්කෝලෙ යද්දි මොනවද ජරාවක් දෙසාබාල. මම පුන්චි කතාවක් දැම්ම මෙයත් එක්ක. වැඩේ කියන්නෙ මිනිහගෙ තාත්තවත්, වෙන කවුරුත් වැඩිහිටියෙක් වත් මෙයා ළඟ නෑ. ඒකත් පුදුම වැඩක් තමයි, මොකද අවුරුදු දහඅටට අඩු අයට අපි අනිවාර්යයෙන් වැඩිහිටියෙක් ළඟ ඉන්න කියනව. මොකද ඒ ගොල්ල "ළමයි" හින්ද. ළමයි කිවුවට දැන් ඉන්නෙ කොළු තාත්තලනෙ, ඉතින් මූ කිවුවද දන්නෙ නෑ තාත්ත ගිහින් වැඩක් බලාගන්න , මම තනියම ඉන්නම් කියල..! මම ඉතින් මෙයාව ඇඩ්මිට් කරන වෙලාවෙ ඩියුටි කරපු අපේ සෙට් එකට හිතින් බැන බැන හිටිය මොකෙක්වත් ළඟ තියාගන්න බැරි වුනානෙ කියල.
කොහොමින් කොහොම හරි එදා ටිකක් වැඩ වැඩි දවසක්. පාන්දර එක විතර වෙනකල් එක දිගටම වාගෙ වැඩ තිබුන. ලෙඩ්ඩුන්ගෙ ඇඳවල් ගැන රෑට පොඩ්ඩක් විපරමෙන් ඉන්න එක අපේ සිරිතක්, මොකද සමහරු නින්ද ගියාම ඇඳෙන් බිමට දෙරිගැහෙන නිසා.
මමත් ඕන්න ගියයි කියමුකෝ ඒ රාජකාරියට. ඉතින් අර අපේ කොලුපැටිය ළඟත් තව ලෙඩෙක් ඉන්නව. මම යනකොට මනුස්සය කිරි වීදුරුවක් හදල ළමයට දීල. මම ළඟට ගිහින් ඇහුව, "පුතා මෙයාව දන්නවද?" කියල
මෙන්න අර මිනිහ පැනල උත්තරදෙනව "මේ මගෙ යාලුවෙකුගෙ පුතෙක්...මට පොඩ්ඩක් බලාගන්න කිවුව.." කියල. ඒ ගමන්ම මෙයා දරුවට කියනවා, "පුතානම් මාව දැකල නැතුව ඇති..මම තාත්තගෙ හොඳ යාලුවෙක් නෙ" කියල.
කෝකටත්, මට මිනිහ ගැන පොඩි සැකයක් ආව හින්ද මම මනුස්සයට කිවුව, "හා ..හා..දැන් ඔය කිරි එක දීල, ඔයා ඇඳට ගිහින් නිදාගන්න." කියල. මිනිහත් හිනාවක් එහෙම දාල, ගිහින්නිදාගත්ත. ගිය ගමන්ම පොඩිඑකාගෙ කිරි එක බොන්න එපා කියල ෂේප් එකේ ඒක වීසි කෙරෙවුව.
පස්සෙ, ඒ කිවුවෙ පැයකට හමාරකට පස්සෙ, මම දැක්ක පොඩිඑකා ඇහැරල යනව. මම කොහෙද යන්නෙ ඇහුවම, ටොයිලට් යනව කිවුව. මෙන්න බොලේ අරමිනිහත් පොඩි එකා පස්සෙන් ටොයිලට් යනව. මට වැඩේ ඇල්ලුවෙ නැතිහින්ද මම අපේ ඇටෙන්ඩන්ට්ව යැවුව අර මිනිහ පස්සෙන් හොරෙන්ම.
ආහ්..මෙන්න වැසිකිළිය පැත්තෙන් ගෝෂාවක් ඇහෙනව.අර යකා පොඩි එකා ගිය ටොයිලට් එකට රින්ගල. එතකොටම අපේ මෑන් මිනිහව කනෙන්ම අල්ලගෙන.
මම පොඩිඑකා ළඟට ගෙන්න ගත්ත. ඌ හොඳටම බයවෙලා, කියනව "අර මාමා මගෙ චූව ඇල්ලුව" කියල. මටත් මේක ඇහුවම අසූහාරදාස් එකට නැග්ග. අරූගෙ හත්මුතු පරම්පරාවෙම නෑදෑයො මතක් කරල ඇමතුව.වටේ හිටපු ලෙඩ්ඩු නම් මූට දෙකතුනක් ඇනගන්න නෑනෙ කියල බොහොම විස්සෝපෙනුයි හිටියෙ. මූත් ලෙඩෙක්නෙ, ගහන්නයැ ඉතින්. මම එවෙලෙම නෝට් එකක් දැම්ම,මුගෙ හපන්කම උදේට පොලිසියට දන්නන්න කියල.එහෙදි ලැබෙයිනෙ පොළියටත් බෝනස් එකක් එක්කම.
කොහොම හරි මට මීටර් වුනේ නැත්නම් අර මිනිහ පොඩිඑකාව අපයෝජනය කරනව...........ඒ කතාවනම් එච්චරයි..
ඒත්.....ආදරණීය අම්මෙ, තාත්තෙ..පොඩි එවුන්ව තනියෙන් ඉස්පිරිතාල වල නවත්තල යන්න එපා..ඒවයෙ මම කිවුව වගේ හරී කරුණාවන්ත මාමල ඉන්න පුලුවන්.ඒ හින්ද ආරක්ෂාවට කෙනෙක් දරුව ළඟ නවත්තන්න හැම වෙලාවකම. අඩුගානෙ රෑට වත්.

ආදරයක මහිම.......

{ Friday, August 14, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.dolceta.eu/.../Mod3/spip.php?article245
මේ සිද්දිය වෙලා දැනට අවුරුදු හතරක් විතර ඇති. එදා වාට්ටුව ටිකක් නිදහස්. දවල් දෙක හමාරට තුනට විතර ඇති, ඔන්න වේගෙන් ආපු ත්‍රී විලර් එකක් අපේ වාට්ටුව ලඟ නැවැත්තුව. ඒකෙ ඇරන් ඇවිත් හිටියෙ අවුරුදු දාසයක් දාහතක් විතර වයස කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. මුන් දෙන්න මොකක්ද ආදර හුටපටයකට වහ බීල. කෙල්ලව ගෑණු වාට්ටුවට යවල, කොල්ලව ඇඳකට අරන් අපි ලහි ලහියෙ මුගෙ ජීවිතේ බේරගන්න දැඟලුව. මිනිහ අවසිහියෙන් වගේ හිටපු හින්ද කටින් ලොකු බටයක් ආමාශයට දාල වතුරෙන් බඩ සෝදල දාන්න සිද්දවුනා ( Gastric Lavage ). ඒ අතරෙ මෙයාලව එක්කන් ආපු රන්චුව මුන් දෙන්න බීපු වහ බෝතලේ හොයාගෙන ආව. හ්ම්..නරක නෑ බීල තියෙන්නෙ "පැ******", ඒව බීපු කිසිම කෙනෙක් මෙතෙක් මේ ලෝකෙ බත් කන්න ඉතුරුවෙලා නම් නෑ. තේ හැන්දකින් තුනෙන් එකක් ඇති වැඩිහිටි පිරිමි කෙනෙක්ගෙ ජීවිතේ නැතිවෙන්න.
මේව බීවම බඩේ ආන්ත්‍රික යුෂත් එක්ක එකතුවෙලා කොළ පාටක් ගන්නව. කොල්ලගෙ බඩෙන් සෝදල දාපු වතුරත් කොළ පාටයි..ම්..ම්..ඒත් මගෙ අත්දැකීමෙන් මට නිකන් සැකයක් වාගෙ හිතුන මොකද ඒව කොළ පාටට තෙල් වගේ ඇදෙන සුලු ගතියකුත් තිබුන නිසා. ඒත් සමහර විට ආමාශයෙ සෙවෙල( ශ්ලේශ්මල/ Mucus )ගතිය පිටට ඇවිත්ද කියලත් හිතුන.කොහොම හරි පැයකට විතර පස්සෙ කොලුවට හොඳට සිහිය ආව. අපි අනුමාන කළා මූ නම් බීල තියෙන්නෙ පැ****** නෙවෙයි කියල.
ඔය අතරෙ මම ගැහැණු වාට්ටුව පැත්තෙ ගියා වහ කේස් එකේ අනික් පුරුක බලන්න. මම යනකොට ඒ අසරණ ළමයගෙ හුස්ම ටික ගිහින්, දරඳඩු වෙච්ච සිරුර පරවුන මලක් වගේ ඇඳක් උඩ දාල තිබුන. ජීවිතය බේරගන්න දඟලපු කාර්ය මණ්ඩලයෙත් මූණු මැළවෙලා ගිහින්...ඇත්ත පැ****** හරිම දරුණුයි, ඉස්සෙල්ල කීව වගේ චුට්ටක් ඇඟට ගියොත් ඉවරයි.
දැන් ඔයාලට ඇතිවෙච්චි ප්‍රශ්නෙ මටත් ආව..කොල්ල බේරිල කෙල්ල මැරුනෙ කොහොමද? මම අපේ වාට්ටුවට ආපහු එනකොට මෙන්න අපේ කොලුව ඇඳ උඩ ඉඳගෙන හෙම ඉන්නව. මම ගිහාම මිනිහ අහනව "අරයට කොහොමද?" කියල..මම ඒකට උත්තර නොදී
"තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.


( වස වර්ගයේ නම ලිවුවෙ නැත්තෙ..නරක ආදර්ශයක් යන්න පුලුවන් නිසයි.)

එස්.අයි මහත්තයා..

{ Thursday, August 13, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.freefoto.com/preview/28-11-59?ffid=28-11-59
ඕන්න දවසක් රෑ අටට විතර හොඳට හැඩි දැඩි පිරිමි කෙනෙක් අපේ වාට්ටුවට ඇඩ්මිට් වුනා. ඒ දවස් දෙක තුනක ඉඳන් බඩ රිදෙනව, බඩඑළියෙ යනවා කියාගෙන. මම ඇහුව..
"දවසට කී සැරයක් විතර යනවද?" කියල.
මනුස්සය කියනව "දහ වතාවටත් වැඩිය යනව" කියල..ඒක ටිකක් බරපතලයිනෙ
මම මෙයාව ඇඩ්මිට් කරගෙන ටිකක් වැසිකිළිය ළඟට වෙන්න තියෙන ඇඳක් පෙන්නල ඒකට යන්න කිවුව. මොකද බෝවෙන ලෙඩ තියන ලෙඩ්ඩුන්ව වෙන්කරන්නෙ ඒ පැත්තෙ තියන වාට්ටු කොටසෙ නිසා.ඇයි ඊටත් වඩා රෑ තිස්සෙ මෙයාට වැසිකිළි යන්නත් එපායැ කීප සැරයක්ම. ඉතින් මනුස්සය ටිකක් කල්පනා කරල අහනව,"ඉස්සරහ ඇඳක් දෙන්න බැරිද?" කියල. ඒ මහත්තය වැඩකොරන්නෙ පොලීසියෙලු.එස්.අයි.කෙනෙක්ලු.අනේ ඉතින් කොයිහැටි වෙතත් මම කාරනා කටයුතු පැහැදිලි කළාට පස්සෙ මම පෙන්නපු ඇඳටම යන්න මෙයා කැමැති වුනා.
ඊට පස්සෙ බඩේ අමාරුව අඩුවෙන්න දෙන රෑ බෙහෙත් වේල දුන්නම මෙයා ඒකත් බිවුව. බොනකල් මම ළඟත් හිටිය මොකද ලෙඩ්ඩුන්ට හරියට බෙහෙත් ටික දෙන එක අපේ වගකීමක් නිසා.මිනිහ මගෙ මූන දිහා කීප සැරයක් බලල තමයි බෙහෙත් ටික කටට දාගත්තෙ.මමත් ඉතින් කිවුව "බය වෙන්නෙපා,ඕය බෙහෙත් වලට අඩුවෙලා යයි" කියල.
එදා රෑට කතාව ඔච්චරයි..ආ රෑ එස් අයි මහත්තය හොඳට නිදාගත්තනෙ,ඒක කියන්න අමතක වුනා. ඕන්න උදෙන්ම මෙයා ඇවිත් කියනව..
"මහත්තය,මට මෙඩිකල් එකක් ගන්න ඕන..මාව කිළිනොච්චියට මාරුකරල..!"කියල. ඒ යුද්දෙ දරුණුවටම තිබ්බ කාලෙ.
මම ඇහුව "එතකොට ඔයා බඩේ අමාරුව කිවුවෙ බොරුවටද?"කියල.මනුස්සය "ඕවු" කියපි.......!
මට දෙලෝ රත් වුනා..හොඳවෙලාවට මෙයා බඩේ අමාරුව කියල කිවුවෙ,වැරදිලාවත් පපුවෙ අමාරුව කියල හෙම කීවනම් දෙන බෙහෙත් බීල මේ මනුස්සයට වෙන දරුණු ලෙඩක් හැදෙන්නත් ඉඩ තිබුන.මැරෙන්නත් ඉඩ තිබුන සමහර විට.
එස්.අයි මහත්තය මෙඩිකල් එකත් ඇරගෙන ස්තූති කරල ගියා.හැබැයි පස්සෙ සෑහෙන වෙලාවක් මගෙ නාහෙ දෑව.මොකද මුන්නැහෙ වැසිකිළි යන යන සැරේට මාව මතක් වෙන්න ඇති.ඇයි දෙයියනේ බෙහෙත් දුන්නෙ බඩ වේලන්නනේ..හනේ අපොයි බොරු කියල කොරගත්තු දෙයක්...!

පුවක් ගහේ යෑම..

{ Thursday, August 13, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
දවසක් තරුණ කොලුවෙක් බොහොම වේදනාවෙන් ඇඹරි ඇඹරි වාට්ටුවට එනව. එක්කන් එන්නෙත් වයස විස්සක් විතර, ඒවයසෙම කොල්ලෙක්. මම ඇහුව මොකද මල්ලි අමාරුව කියල. මිනිහ ගොත ගගහ ලජ්ජාවෙන් යටිබඩ පැත්ත පෙන්නුව. ටිකට් එක අරන් බලපුවාමයි වැඩේ තේරුණේ. paraphimosis..! පවු වැඩේ, මාර ලෙඩක් නෙ හැදිල තියෙන්නෙ.මම මනුස්සයව ලෙඩ්ඩු බලන ඇඳට දාල මොකද කියල බැලුව. මෙන්න මේ යකාගෙ අවයවයෙ ඉහල කොටස බැලුමක් වගේ පිම්බිල, ඉදිමිලා, මේ දැන් පුපුරන්න වගේ. අල්ලන්නවත් දෙන්නෙ නෑ බෙරිහන් දෙනව වාට්ටුව දෙවනත් වෙන්න.
මම ඩොක්ටට මේ ගැන කියල, කොහොමද මෙහෙම වුනේ බලන්න විස්තරේ ඇහුව. අහන්න නම් දෙයක් නෑ, මෙහෙම වෙන්නෙ පුරුෂ ලින්ගයේ පෙර සම පස්සට ගිහින් ඒක ආයෙ උඩට ඒ කියන්නෙ තිබුන තැනටම ආවෙ නැති වුනාම තමයි. බෙල්ල මිරිකලා වගේ පෙරසම ලින්ගය හිරකලාම, ශිශ්ණ මුණ්ඩය බැලුමක් වගේ ඉදිමෙනව. හරියට රිදෙනව. ඕකට තමයි paraphimosis කියන්නෙ.
ඔන්න ඉතින් අපේ යාලුව ඇඹරි ඇඹරි කියනව, යාලුවෙක්ගෙ දානෙ ගෙදරකට පුවක් කඩන්න පුවක් ගහකට නැග්ගලු. බහිනකොට ගහේ ඇතිල්ලීගෙන ඇවිත් මෙහෙම වුනාලු.......හයියෝ..මොකටද මගෙ කට.මට නිකන් ඌරු ජුවල් මුගෙ ටොම් පචේට.ඇයි දෙයියනේ මුගෙ එක පුවක් ගහේ ඇතිල්ලුනානම් මෙහෙම ඉතුරු වෙයිද? පස්සෙ මම ටිකක් කොල්ලව බය කලා, ඇත්ත නොකියා බොරු කියල ප්‍රතිකාර වැරදුනොත් ඕක මුලින්ම කපන්න වෙනව කියල..මෙන්න ඒ පාර ඌව එක්කගෙන ආපු එකත් බය වෙලා..! කොහොම හරි මනුස්සය බයටම ඇත්ත කිවුව.
මෙයාල ****කැම්පස් එකේ පලමු වසරෙලු. යාලුවෙක් ගෙ බෝඩිමකට සෙට් වෙලා කොහෙන්දෝ හොයාගත්තු නගර ශෝභිනියක් එක්කන් ගියාලු. එතෙන්දි තමයි මේ සන්තෑසිය වෙලා තියෙන්නෙ.මේක අඩුවෙයි කියල දවසක්ම බලල, ඉදිමුම වැඩි වෙන හින්ද ආවලු. මම මේ දෙන්නට ටිකක් අවවාද කලා.ලෙඩේ අඩු කරල දුන්නට පස්සෙ ඒඩ්ස් වලටත් චෙක් කරගන්න කියල ලියවල දුන්න..අනේ ගොන් බානට එතකොට තමයි එහෙම ලෙඩක් ගැන මතක් වුනේ.කොහොමින් හරි ආයෙනම් ඕව කරන්නෙ නෑ කියල මුන් වෙවුල වෙවුල කියනව.
මමත් කොල්ලෙක් හින්ද උන් දෙන්නගෙ කාඩ් කුඩුකරන්නෙ නැතිව යන්න ඇරිය.ඒත් ඒඩ්ස් නම් මම තරම් හොඳ නෑ..හැදුනොත් කාඩ් විතරක් නෙවේ, ජීවිතේම කුඩු...! පරිස්සමෙන් යාලුවනේ..

පුත්‍ර රත්නය....

{ Tuesday, August 11, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.barrymelroserocks.com/2009-articles/april..
මේකත් ටික කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්.අවුරුදු අසූවකවිතර වයසක මනුස්සයෙක් පාරෙ වැටිල ඉඳල පොලීසියෙන් ගෙනාව ඉස්පිරිතාලෙට.ඉතින් අපේ වාට්ටුවටම ඇඩ්මිට් කොළැයි කියමුකො.
ගෙනාපු ගමන් මේ මනුස්සය මැරිල වගේ, සිහියක් පතක් නෑ.කිසිම හාවක් හූවක් නෑ...ටක් ගාල Blood Sugar (Random Blood Sugar-R.B.S.) එකක් බැලුවම මෙන්න බොලේ සීයගෙ ලේ වල සීනි මට්ටම හොඳටෝම බැහැල.
ඉක්මනට 5% Dextrose (සීනි තියන සේලයින් වර්ගයක්) දාල අනෙක් ප්‍රතිකාර ටිකත් කලාම සීයට සිහිය ආව.අපිටත් හරිම සතුටුයි,අර මැරිල වගේ හිටපු මනුස්සය කතා කරන කොට.
මේ අහින්සක මනුස්සය ඉන්නෙ තනියෙන්ලු. ආච්චි මැරිලලු. කෑම වේල් දෙක තුනක්ම කාල නැතුව තමයි කලන්තෙ හැදිල වැටිල තියෙන්නෙ.ඉතින් මම ඇහුව..
"සීයට දරුවෝ හෙම නැද්ද?" කියල,
"ඉන්නව පුතේ..උන් දැන් කසාද බැඳල දරු මල්ලොත් එක්ක දුර තමයි ඉන්නෙ" සීය කියනව...
කොහොම හරි සීයට ඉස්පිරිතාලෙ කෑම වේල ලැබෙන විදියට වැඩකටයුතු සලස්සල මම මගේ අනිත් වැඩ වලට බැස්ස.
ලෙඩ්ඩු බලන වෙලාවෙදි, හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්තයෙක්(? ) ඇවිත් මගෙන් අහනවා..
"මහත්තයා...අර ඇඳ 21 ලෙඩාට අමාරුයි නේද?" කියල...ඒ ඇඳ අර සීයගෙ ඇඳ.මට ඒ ප්‍රශ්නෙට පුදුම හිතුන, මොකද කෙනෙක් අහන්නෙ ලෙඩාට අමාරුද කියල මිසක්, අමාරුයි නේද කියල නෙවේනෙ! සාමාන්‍යයෙන්. කෝකටත් ඒ ප්‍රශ්නෙට උත්තර නොදී මම ඇහුව
"ඒ සීය ඔයාගෙ කවුද ?"කියල...
"ඒ මගෙ ගෙදර වැඩ කරන එක්කෙනා කියල " මිනිහ ගොත ගගහ කියපි.
මම ඇහුව " ඔයා වැඩ කාරයන්ට කන්න දෙන්නෙ නැද්ද "කියල...මිනිහ බොරු ටිකක් ඇද බාල ශේප් වුනා..
මම පස්සෙ කිවුවා " නෑ ලෙඩාට දැන් හොඳයි..හෙට ටිකට් කපාවි.." කියල
ඒක ඇහුව විතරයි මුගෙ කට නිකන් කරත්තෙට අහුවෙච්චි කජුලෙල්ල වගේ වුනා...මිනිහ තෑන්ක්ස් පාරක් දාල මාරුවෙලා ගියා.
ටිකකින් මම සීය ළඟට ගියාම සීය කියනවා..
" පුතේ, අර ආවෙ මගෙ පුතා..පොළීසියෙන් මගෙ සාක්කුවෙ තිබ්බ ඇඩ්‍රස් එක ඇරන් පුතාට පනිවිඩයක් දෙන්න ඇති..දැන් ඔය ආවෙ මම මැරිලද බලන්න." කියල
මම ඇහුව " ඉතින් සීය කතාකලේ නැද්ද?" කියල...
" නෑ පුතේ...මම නිදි වාගෙ හිටිය..එයා මට කතා කරල බැරි තැන ළඟ ලෙඩාගෙන් ඇහුව, තාත්තට හුඟක් අමාරුයි වගේ නේද?,නැතිවෙයිද දන්නෙ නෑ " කියල..ඒ මනුස්සය කිවුව.." නෑ නෑ දැන් හොඳටම හොඳයි..ඔය නින්ද ගිහින් ඉන්නෙ.." කියල,..... "මෙන්න පුතන්ඩිය යන්න ගියා......" සීය කියපි..
සීයට ඉඩම් අක්කර දෙක තුනක් තියනවලු...බොහොම සතුටෙන් අර පුත්‍ර රත්නය ඇවිත් තියෙන්නෙ තාත්ත ඉක්මනට වල පල්ලට යයි කියල..මොකද, මේ ටික අයිති කර ගන්න..
අනේ සීයෙ උඹ පුතා මැරෙනකල් ජීවත් වෙයන්...මට කියන්න තියෙන්නෙ එච්චරයි....!

ආයුබෝවන්.....(මම ගැන)

{ Sunday, August 09, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
මම ඉන්දික. අවුරුදු කීපයක් රජයේ රෝහලක හෙද නිළධාරිවරයෙක් විදියට සේවය කරල ලබපු විශේෂ අත්දැකීම් කීපයක් ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ බ්ලොග් එක ලියන්න හිතුවෙ. මේව මම පුද්ගලිකවම මුහුණදීපු අත්දැකීම්. මගෙ යාලුවන්ගෙ අත්දැකීම් වලිනුත් යමක් ලියන්න හිතන් ඉන්නව. තව පුංචි දෙයක් කියන්න ඕන, කිසිම අයෙක් හෝ රැකියාවක්/සේවයක් අපකීර්තියට පත්කිරීම හරි කිසිම අයෙක් හෝ රැකියාවක්/සේවයක් කීර්තියට පත් කිරීම හරි මේ බ්ලොග් එකේ අරමුණ නෙවෙයි.මම තාම නවකයෙක් බ්ලොග් කලාවට. ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා. එකේ වාට්ටුවට ගොඩවෙන්න....ආයුබෝවන් කියල පිළිගන්නව.
මාව අමතන්න පුලුවන් මේකෙන්..
indika_bhm@yahoo.com

අපරාදේ......!

{ Saturday, August 08, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් www.balancedhealthtoday.com/blog/2008/12/02/
මේ කතාවෙ කතා නායකයා තරුණ කොලුවෙක්.මනුස්සය,මිනිහගෙ ගමේම ගැටිස්සියක් එක්ක මොකක්ද හුටපටයක් තිබිල තියනව.මේක කෙල්ලගෙ පාර්ශවයෙ නෑදෑ පිරිවරට ආරන්චිවුනාට පස්සෙ කොලුවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරල තිබුණ.කොහොම හරි මේ ජෝඩුවත් මේක දිගටම කරගෙන ගිහින්.දවසක්,මේක ඉවසන්නම බැරි තැන වෙන්නඇති,අපේ කතානායක කොලුවට අර ගෑණුළමයගෙ මාමල,අයියල වගයක් හොඳටම ගහල දාල තියනව.
මගෙ කතාවෙ මුල තමයි මෙතන!ඔය සිද්ධියෙන් දවස් හතර පහකට පස්සෙ කොලුවට උණ ගැණෙනව.මේ වයිරස් උණ,චිකුණ්ගුණ්යා උණ හොඳටම සමාජ ගතවෙලා තිබුණ කාලෙ.
මනුස්සය ඉස්පිරිතාලෙට ඇතුල් වෙන්නෙ "උණ" කියල කියාගෙන.ඒත් දවස් ගානකට කලින් ගුටිකාපු බව නොකියන්නට මිනිහ පරිස්සම් වෙනව.ඒ විළිලැජ්ජාව හින්ද වෙන්න ඇති.
කොහොම කොහොම හරි මේ කොලුවව උණට කරන පරීක්ෂණ වලට භාජනය කරල තියනව.කරුමෙ කියල කියන්නෙ දවසකට විතර පස්සෙ උණත් බැහැල ගිහින්.ටිකට් කපන්නත් ඔන්න මෙන්න කියල තියෙද්දි මනුස්සයට හොඳටම අමාරු වෙලා.වමනෙ යන්නයි, ඇග පත වේදනාවෙන් කෑගහන්නයි, වලිප්පුව හැදිල වගේ ගැහෙන්නයි පටන් ඇරන්.අපරාදෙ කියන්න බෑ මිනිහවත් නෑදෑයොවත් නෙවෙයි අර ගුටිකෙළිය ගැන දැන්වත් කටක් හෙල්ලුවෙ.
දැන්නම් ලෙඩේ නරක අතට හැරෙන බව දැනගත්ත නර්ස්ල ඉක්මනට දොස්තරලට මෙයාව පෙන්නල තිබුණ.කොහොමින් හරි ලෙඩාව ඉක්මනින් මහ රෝහලකට යැවුණ.එහෙදි විශේෂ දොස්තරල මෙයාව බලල පරීක්ෂණ තොගයකුත් කරල හොයාගෙන තිබුණ මොලේ ලොකු ලේ ගැලීමක් වෙලයි කියල.අර එදා කාපු පොලු පාරකට වෙන්න ඇති ටිකටික ලේ ගලල මොළ ගෙඩිය තෙරපෙනකල්ම ඒක වැඩිවෙලා තිබ්බ.
මේක හොයාගන්නකොටත් හොඳකරන්න පරක්කු වැඩියි.දවස් දෙක තුනකට පස්සෙ අපේ කතා නායකය සෑහෙන දුකක් විඳල අවසන් ගමන් ගිහින් තිබුණ.
මේකෙන් මට කියන්න ඕන වුනේ මෙන්න මේ ටික.
ලැජ්ජාවට වත්, බයට වත්, ලෙඩක් හන්ගන්නවත්, බොරු කියන්නවත් හොඳ නෑ කිසිම වෙලාවක. අර අහල ඇතිනෙ දොස්තරට ලෙඩේ හැන්ගුවොත් අඩි හතරක් යට කියල !
අපරාදෙ තරුණ ජීවිතයක් නැති වුනා.කෙල්ලගෙ නෑදෑයින්නට මොනව වෙන්න ඇද්ද? ගමේ එවුවො කෙල්ලගෙ හතර වරිගෙටම අයිති දේපල ගිනිබත් කරල, මිනිස්සුන්වත් ගමෙන් පන්නල දැම්ම කියල තමයි ආරන්චි.

අනිච්ඡාවත කන්සාරා...

{ Saturday, August 08, 2009 දින ඉන්දික විසින් ලියන ලදී. }
පින්තූරෙ ගත්තෙ මෙතනින් marketplace.publicradio.org/.../
මේ කියන කාලෙ මම ඉස්පිරිතාලෙට පත්වීම ගත්ත මුල්ම කාලෙ.ඒ දවස් වල අපේ වෛද්‍ය වාට්ටුව නා නා ප්‍රකාර ලෙඩ්ඩුන්ගෙන් පිරිල තිබුනෙ.ඔය අතර හිටිය ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩු කියල කොටසකුත්.ඒ කියන්නෙ මාසෙ දවස් තිහෙන් විසි අටක් විතරම ඉන්නෙ වාට්ටුවෙ.ලෙඩේ අඩුවෙලා අද ටිකට් කැපුවොත් හෙම හෙට ආයෙ එනව.නැත්නම් උදේ කැපුවොත් හවස ආයෙ එනව.දොස්තරලටත් ඇතිවෙලාම මේ අයව ටිකට් කපන්නෙ නැතුව ඉන්නව වෙලාවකට මාස ගනන්.ගොඩක් වෙලාවට මේ අසරණ මිනිස්සු මෙහෙම ඉන්නෙ ඉස්පිරිතාලෙ බත් පන්ගුවට, තේ වේලට නැත්නම් ඉන්න හිටින්න තැනක් නැතිකමට.
එක ඉන්වෙන්ට්‍රි ලෙඩෙක් හිටිය මිනිහගෙ නම ආනන්ද රාජා.දුප්පත් දෙමළ මනුස්සයෙක්.ඇදුම ලෙඩෙක්,ඇදුමට දෙන්න තියන ලෝකෙ හොයාගත්තු ඔක්කොම බෙහෙත් මිනිහට දෙන්න නියම කරල තිබුණ.
ආනන්ද රාජ හොඳ මනුස්සය.කවදාවත් ස්ටාෆ් එකට කරදර කලේ නෑ බොරුවට.විනාඩි පහෙන් පහට දුම් අල්ලන්නයි, උදේ දවල් රෑ කෑම වේලයි, ඇඳකින් බාගෙකුයි ලැබෙනවනම් මිනිහට රජ සැප දුන්න වගේ තමයි.
සැප කිවුවට මනුස්සය පුදුම දුකක් විඳින්නෙ හුස්ම ගන්න.රාන්..රූන් ගාල පපුවෙ සද්දෙ මුලු වාට්ටුවටම ඇහෙනව.තිබුනෙ COPD (Chronic Obstructive Pulmonary Decease ) කියන ලෙඩේ අවසාන ඒ කිවුවෙ දරුණුම අවස්තාවෙ.පෙනහලු ආපහු හොඳ කරන්න බැරි තරමටම නරක් වෙලා.එක හුස්මෙන් හුස්මට කැස්ස එනව.උදේ එළිවෙද්දි නෙස්ටොමෝල්ට් ටින් එකකින් එකක් පිරෙන්න සෙම එකතු කරල.ඒවගෙ දුකක් විඳින්න මිනිහ ඇත්තටම ලොකු පවක් කරල ඇති.ඒව බලාගෙන ඉන්න වුන අපිත් පවු කරල ඇති.මොකද ඒ වෙද්දි මිනිහට කරන්න තිබුන ප්‍රතිකාර ඔක්කොම කරලත් ඒවයින් වැඩක් නොවුන තැනට ඇවිල්ලයි තිබුනෙ.
දවසක් මම මනුස්සයට කතා කරල ඇහුව තරුණ කාලෙ විස්තර.මිනිහ ගජ ඉලන්දාරිය කාලෙ ඉඳල තියෙන්නෙ බිබිලෙ.එහෙ හේනක් වැවුවලු.නිකම් හේනක් නෙවේ, ගන්ජා හේනක්! මම ඇහුව ඉතින් රාජා ගන්ජ බිවුවද කියල.රාජා කියනවා..
"ඔවු සෑර්..වැඩිය නම් නෑ...දවසට ගන්ජා සුරුට්ටු හය හතක් බොනව.." කියල
ඔන්න තත්වෙ..අවුරුදු පහලු මිනිහ හේන කලේ.ඒ කාලෙදිම තමයි ඇදුමට ඇවිත් තියෙන්නෙත්.
ගන්ජ ගැහිල්ල නතර කළාට පස්සෙත් නරක් වුන පෙනහලු ආයෙ නිරෝගී වුනේ නම් නෑ.දවසක් හවස ඩියුටියකට මම යද්දි ආනන්ද රාජගෙ ටිකට් එකේ රතුපාටින් ලියල තිබුන "Patient Expired" කියල.එච්චරයි. ඒත් තව ඉවර නෑ..ආතල් එකට කියල ගන්ජ බොන අයියල මල්ලිලටයි මේ කියන්නෙ.දැන්මම මරණ දැන්වීම් ටික ගහල තියාගන්න..මතක ඇතිව අනිච්ඡාවත ස0ඛාරා කියන එක අනිච්ඡාවත කන්සා ..රා කියල ගහන්න...!