සුනාමි සිරප්....

{ Tuesday, October 05, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }


අද මම මේ කියන්න යන කතාව ටිකක් විතර පරණ , ඒත් මතක් වෙද්දිත් හීන් හිනාවක් මූණට වැටෙන තාලෙ එකක්.
යාලුවන්ට මතකයිනේ අපේ රටට ආපු සුනාමිය. ඔන්න ඉතින් සුනාමිය අපේ රට තොට බලල ගියායින් පස්සෙ අපේ ඉස්පිරිතාල වල තිබ්බ බේත් හේත්, පුලුන්, බැන්ඩේජ්, ප්ලාස්ටර් ආදී මෙකී නොකී එකී, පෙරකී සියලුම ජාති පොදි පටවල ගෙනිච්ච නෙව සුනාමියෙන් විපතට පත්වෙච්චි අසරන අයගෙ ජීවිත රැකගන්න. ඉතිං ඔය කාලෙ අපේ වාට්ටුවෙත් Drug Cupboard, Dressing Cupboard හෙම සුනාමි ගහල වගේ හිස්වෙලයි තිබුනෙ.
හැබැයි ඉතින් ඔය විදියට මාසයක් දෙකක් ගියැයි කියමුකෝ..මෙන්න බොලේ සුනාමි ආධාර කියල ජීවිතේට දැකල නැති බේත්වර්ග, කෑම වර්ග, සිරප් වර්ග ,Dressing වර්ග අටෝ රාසියක් ඉස්පිරිතාල වලට ලැබෙන්නට පටං ගත්ත.
ඔන්න ඔයාකාරෙට ලැබිච්ච සිරප් වර්ගයක් ගැන තමා අද කතාව!!
දවසක් උදේ, මගේ බෙහෙත් දෙන වෙලාවෙ අපේ වැඩකරන ළමයෙක් දුවගෙන ඇවිල්ල , හති දදා මට කියනව
"ඉන්දික මහත්තයො, අද මල්ටි විටමින් සිරප් වගයක් ඇවිල්ල Indoor එකට"
"ආ එහෙමද?" මම ඇහුව
"ඒව හරි හොඳයිලු, සුනාමි ආධාරලු, අන්න අපේ කට්ටිය පොරකනව ඒව ලියවගන්න OPD එකේ. මමත් හෙන කට්ටක් කාල එකක් ලියෝගත්ත"
මට ඔය මල්ටි විටමින් ගිල දැමීමේ නවීන විලාසිතාමය රෝගය වැළඳිලා නැති හින්ද මට ඒක එච්චර වැදගත් සිද්ධියක් වුනේ නැහැ.
මම ඉතින් " අනේ මට නම් ඕනෙ නෑ" කියල උත්තර දුන්න.
පස්සෙ ආරංචි වුනා ඩිස්පැන්සරියට ආව මල්ටිවිටමින් සිරප් බෝතල් 50 ම උණු කැවුම් වගේ රෝහලේ අයම බෙදාගත්තැයි කියල.
ඔන්න ඊළඟ සතියෙ තවත් සිරප් ලොට් එකක් ඉස්පිරිතාලෙට ලැබුණ. බෙදාගන්න ඕන අය ඇතිපදම් බෙදාගත්තු හින්දද කොහෙද මේව නම් වාට්ටුවල ලෙඩ්ඩුන්ටත් දෙන්න කියල හම්බවුනා.
මම ඉන්න වෙලාවක තමයි ඉස්සෙල්ලම ඔය සිරප් එක අපේ වාට්ටුවට ගෙනාවෙ
ෂා..හරිම ලස්සන බෝතලයක්..හරියට වයින් බෝතලයක ෂේප් එක තියෙන්නෙ. මම ඉතින් පොඩ්ඩක් මේකෙ ලේබල් එක කියවල බැලුව.
ඔවු ඔවු, මල්ටි විටමින් වර්ගයක් නේ..විටමින් වලට අමතරව ඔය ක්ෂුද්‍ර පෝෂක වර්ග(Zinc වගේ) තියෙනව.. ඒත් ඉතින් මේක කොහෙද හදල තියෙන්නෙ....????
අනේ අපොයි, මේ ලේබල් එකේ වත් බෝතලේ බඳේවත්, මූඩියේ වත් නිෂ්පාදිත රටක් ගැන කිසිම සඳහනක් නෑ!
ඒ විතරක් ද? Batch Number එකක්, තියා අඩුම ගානෙ Expiry Date , Manufacturing Date වත් නැහැ!!!
ඇත්තම කීවොත් ඕනෙ කරන මොන කෙහෙල්මලක් වත් නෑ!!
මම ඉතින් මේක අනිත් අයටත් කියල හැමෝම බෝතලේ පෙරල පෙරල බැලුව..හැමෝගෙම උත්තරේ නෑ නෑ නෑ තමයි ඉතින්!
පස්සෙ අපි ප්‍රධාන අවුෂධවේදී මහත්තයට කතාකරල මේගැන විස්තර ඇහුව. අපරාදෙ කියන්න බෑ ඔන්න එතකොට තමයි මනුස්සයත් මේ ගැන දන්නේ..( හරී ෂෝක් :( )
කොහොම වුනත් Expiry Date නැති බෙහෙතක් අසරණ ලෙඩුන්ට දෙන්න බැහැනේ. අපි මේව ටික ඔක්කොම ආපහු යැවුව ඩිස්පැන්සරියට.
අපේ මේ කළබගෑනිය අනිත් වාට්ටුවලටත් ගිහිල්ල ඔන්න,
දැන් තමයි හොඳම හරිය...ගිනි ඇවිලිලා..කාටද???
ඇයි අර ඉස්සෙල්ල ආව ලොට් එකේ සිරප් බීපු ඇත්තන්ට
මේ ගොල්ල..හොඳටම බය වෙලා..ඇයි අප්පා සමහරු ළමයින්ටත් බොන්න දුන්නලු!
කතාව එච්චරයි..
ලෙඩ්ඩුනට අයිති දේවල් අයුතු විදියට උස්සගෙන යන මිනිස්සුන්ට ස්වභාවධර්මය දීපු අපූරු දඬුවමක් හැටියටයි මම මේක දකින්නෙ>
ප.ලි.
(මගෙන් අහනවද බීපු උන්ට මොකෝ උනේ කියල..?? මොකුත් උනේ නෑ..හැබැයි විඳෙවුව සෑහෙන කාලයක් බයේ!!)

අදහස් 12 ක් තියෙනවා "සුනාමි සිරප්...." ට

මොකද අප්පේ කවුරුත් බැනලවත් යන්නෙ නැත්තෙ?..මොකක් හරි අවුලක්ද??

නෑ නෑ කට්ටිය වැස්සට මේ පැත්තෙ ගොඩ වෙලා නෑ ටිකක් පායපුවම හරියයි... හික්ස්

බයෙන් හිටපු එකත් ක‍රපු වැඩෙට පලදීපු දිට්ටධම්මවේදනීය කර්මය තමයි බලාගෙන යද්දී.

Prabhash යාලුවට,
හික්ස් එහෙමද?

sithuwilimandiya යාලුවට,
අනිවා..මාර බයෙන් කට්ටිය හිටියෙ..ඇයි ළමයින්ටත් දීලනෙ!

කාලෙකට පස්සෙ ලියන්න පටන් අරන් තියෙන්නෙ ආපහු. හොඳයි හොඳයි....

ගයාන් යාලුවට,
ආයෙ ආව ඔන්න!

කාලෙකට පස්සේ නැවතත් ලියන්න පටන් ගත්තට ස්තූතියි..
මමත් මේකෙ අළුත් පෝස්ට් එකක් යනකන් ආසාවෙන් හිටියේ....
අනුන්ට ලැබෙන්න තියෙන දෙයක් බලෙන් ,හොරෙන් බදා ගන්න යනවට මේවා හොඳ පාඩම්.....
දිගටම ලියන්න.....

ස්තුතියි කැන්ඩි යාලුවෙ!

ආයෙත් ලියන්න ඇරන් තියෙන්නේ. හොඳ ලිපියක්. දෙයක් හොයල බලන්නේ නැතිව දකින දකින දේ බදාගන්න යන අයට.

සෑහෙන හොද ලිපියක්... ලංකාව නෙ මේ...

අඩෝ ව්..

Post a Comment

අදහස්..උදහස්...කියල යන්න.