මාලින්ද...

{ Wednesday, October 13, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }
මාලින්ද.....මා..ලි.න්ද.....
මාලින්ද කවුද......?
වරකපොළ ඉඳන් ආපු මාලින්ද කවුද?
එදා වෙනදට වඩා වාට්ටුව ලෙඩ්ඩුන්ගෙන් පිරිලයි තිබුනෙ. වාට්ටුවෙ තිබුන ඇඳන් හතලිස් ගනනට වඩා ලෙඩ්ඩු 30ක් විතර වැඩිපුර හිටිය. ඒ ගොඩක් අය බංකු වල හරි බිම එළාගත්තු පැදුරු වල හරි තමයි හිටියෙ.
"කෝ මේ මාලින්ද?"
"උණ හැදිල ආපු මාලින්ද කවුද?"
"බෙහෙත් විදගන්න එන්න....මාලින්ද"
සහෝදර හෙදියක් බෙහෙත් ට්‍රේ එකකුත් අතේ තියාගෙන මාලින්දව හොයනව. උණ හැදිල ආපු ලෙඩෙක්..කොහෙ ගිහින්ද මන්ද?
toilet එක පැත්තෙයි, වාට්ටුවෙ අවටයි මනුස්සය හොයන්න තව කට්ටියක් යැවුව.
මාලින්ද ...මාලින්ද...
මනුස්සය නෑම තමයි..
මේ උදේම මනුස්සය වාට්ටුවෙන් පැනල ගියාවත්ද?
මොනව උනත් පැනල ගියානම Police Inform කරන්න ඕනෙ නෙ.
දැන් අනිත් ලෙඩ්ඩුන්ට බෙහෙත් විදලත් ඉවරයි. මනුස්සය තාම නෑ නොවැ. කෝකටත් කියල ආපහු BHT එක ඇරන් බැලුව. මෙන්න බොලේ මාලින්දගෙ වයස අවුරුදු 85 යි!!
දැන් ටිකක් ලෙඩාව හොයන වැඩේ ලේසියි..මොකද අවුරුදු 80ක් විතර වෙන ලෙඩ්ඩු හිටියෙ වාට්ටුවෙ හතර පස් දෙනෙක්.. ඒකෙනුත් කීප දෙනෙක් හුරුපුරුදු ලෙඩ්ඩු.
එක්කෙනෙක්ව හරියටම ඉලක්ක කරල ඇහුව...
" සීයෙ නම මොකක්ද?"
"කෑව ..කෑව ..පුතේ, පරිප්පුයි පානුයි" සීය කියපි
"නෑ නෑ..සී..යේ...නම..නම..මොකක්..ද?"
"මළිඳා"
ආහ්...මළිඳා..සීයගෙ නම මළිඳා...!!!!!!!
ඉංග්‍රීසියෙන් ලියල තියෙන ටිකට් එකේ Malinda !. ඕක සිංහලෙන් කියවනකොට මාලින්ද!! :)
මොකද මළිඳා කියන නම අපිට හුරු නමක් නෙවෙයිනෙ!
කොහොම වෙතත් සීය නම් පරිප්පු කෑවෙ පාන් එක්ක..අපි පරිප්පු කෑවෙ පානුත් නැතිව.
ඒක මේක කොයිහැටි වෙතත්, සීයගෙ අම්මයි තාත්තයි හොඳට හිතල බලල අනාගතේට ගැලපෙන්න සීයගෙ නම දාල තියනව නොවැ.
ඔන්න ඕකයි කතාව..ගැටලුව ලිහාගත්තට පස්සෙ ඉස්සෙල්ලම කලේ Malinda කියන නමට ලඟින්ම BHT එකේ "මළිඳා" කියල සිංහලෙන් ලියපු එකයි.
මොකද නැත්නම් ඊළඟට Duty එන කට්ටියත් මාලින්දව හොයන්න එපායැ ;)

පසුව ලියමි:-
මේ සිදුවීමෙන් පස්සෙ මළිඳා සීය මගෙ හොඳම හිතවතෙක් වුනා..පාරෙදි දැක්කත් සීයා මට කතාකරන්නෙ "මයෙ අප්පච්චි" කියල හරිම ලෙංගතුකමෙන්.
මෙහෙම ඉවර කරන්නම්..මළිඳා සීයට ආයුබෝවේවා!!

රත්තරං ලේ...

{ Thursday, October 07, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }
යාලුවනේ, හැමදාම හෙද නිළධාරියෙක් විදිහට මගේ කෝණයෙන් කතාවක් දීපු මට හිතුන පොඩි වෙනස්කමක් කරන්න. මේක ලිවුවෙ ලෙඩෙකුගෙ පුතෙක් විදියට හිතල. ඒත් මේක හෙද ජීවිතයෙ මට ලැබිච්ච අත්දැකීමක්ම තමයි. බලන්න, මම සාර්ථකයිද කියල,

රත්තරං ලේ
පින්තූරෙ මෙතනිනුයි ගත්තෙ

හලින් වූ යකඩ කොක්කේ එල්ලුනු පැකට්ටුවේ රතුපාට ලේ බින්දු එකින් එක හීනි බටයක් දිගේ රූටාවිත් අපුච්චාගේ නහර පෑදුන දකුණතට ඇතුල්වනු වාට්ටුවේ කොටබිත්ති කෑල්ලට උඩින් මට පෙනේ. සුදුමැළිව කෙහෙල් පරඬැලක් සේ වැහැරී ගිය අපුච්චා බුලත් කසට බැඳුන දත්දෙපළ විදහා මා හා සිනාසෙයි.
"ඇඟට වැටෙන ලේ බිංදක් බිංදක් ගානේ මයෙ අපුච්ච පණ ගහල එනෝ..රත්නත්තරේ සරණයි!"
අපුච්චාගේ අසරණ හිනාව මගේ පපු කැනැත්ත කීරි ගස්සයි
" ංහා..හා..කවුද ඔය බිත්තියට උඩින් එබෙන්නෙ? මේක සත්තුවත්තක් කියල හිතුවද?.අහකට ..අහකට!!! "
කිරිනයිදේ කංකානමගේ වාට්ටුව දෙවනත් කරවන ගෝරණාඩුවෙන් මම මඳක් වාට්ටුවෙන් ඈත් වීමි.
වාට්ටුවට මඳක් එපිටින් වූ අඹගහේ මුලක් මත හිඳගත් මම පහුගිය ටික දොහේ විඳින්නට වූ දුක් කංකටොලු යළිත් මෙනෙහි කරන්නට පටන් ගතිමි.
ගහක් ගලක් වාගෙ හිටපු අපුච්චා, මුදලාලිගේ ගල්වලේ වැඩකොලේ මං හිච්චිඑකා කාලෙ හිටං මයි. ඒත් ටික දොහක හිටං උන්දෑ ඇඟට හයි හත්තියක් නෑ කියාගත්තු ගමන්මයි හිටියෙ. සුදුමැළි වෙලා හොඳටම බැරි ගැහුනැයිං පස්සෙ තමා ආණ්ඩුවෙ ඉප්පිරිතාලෙට ගෙහුං නැවැත්තුවෙ. ඇයි ඉතිං එතකල් ලෙඩකට දුකකට කියල කසාය උගුරක් වත් බොන එකක්යැ!
කොහොමිං හරි ලෙඩා පරීස්සාකොරපු දොස්තර මහත්තුරු ලෙඩාගෙ ඇඟේ ලේ අඩුයි, ලේ දෙන්ට වෙයි කියාපි!
සිරිපාල අයිය මහ ඉස්පිරිතාලෙ ලේ බැංකුවට එක්කගෙහුං ල් දන් දුන්නෙ එයින් පස්සෙ. අපරාදෙ කියන්ට බෑ සිරිපාල අයිය හරි හොඳ මනුස්සය. එයාගෙ සාක්කුවට දාපු රුපියල් පනහත් ආපහු දුන්න ලෙඩාට විස්ක්තු පැකට්ටෙකක් වත් ගන්ටයි කියල.
ඔහොම ලේ දුන්නැයිං පස්සෙත් අපුච්චට ලේ නොදීපු හිංදමයි මං මිසීගෙං ඇහුවෙ ඒ ඇයිද කියාල.
"මේ ලෙඩාගෙ ලේ වර්ගය මේදවස්වල ලේ බැංකු වල නැතිලු. ඒකයි ලේ දෙන්න පරක්කු. ඔයා කෝකටත් ලේ බැංකුවෙ මිසීව හම්බවෙන්නකෝ" මිසී කිවුව.
ලේ බැංකුවෙ මිසී තමයි කීවෙ අපුච්චගේ ලේ වර්ගය ඒබී නැගටිවු ද මොකක්ද කියල. මට ඒ හැටි නොතේරුනාට ඒ ලේ වර්ගෙ හරිම හිඟයි වෙන්ට ඇති කියල හිතුනෙ ලේ බැංකුවෙ නෝනල ලේ හොයන්ට විඳින සුමේ දැකල.
ටිකකින් ලොකු නෝනෙක් මට ඇඩ්ඩස් එකක් දීල කීව "මේන් මේ මහත්තයගෙ ලේ වර්ගෙ ඔයාගෙ ලෙඩාට ගැලැපෙනව. ගිහිල්ල කතාකරල එක්කගෙන ඇවිත් අපිට ලේ එක දෙන්න" කියල.
මං ඉතින් ඒ ඇඩ්ඩස් එක හොයං ගියා.. අප්පේ, මහ විසාල බංගලාවෙක් අහස උසට තාප්පෙ, පත ගේට්ටුවක්..මං කෝකටත් ගේට්ටුව ගාවට කිට්ටු කළා..
"යනව යනව, මෙහෙ හිඟන්නන්ට තහනම්! මහත්තය දැක්කොත් මටයි බැනුම් අහන්න වෙන්නෙ.."
සිකුරුටි මහත්තයෙක්ගෙ ගෝරණාඩුව..
"නෑ නෑ අයියෙ මං මේ ආවෙ.............."
" මෙහෙ රස්සාවලුත් නෑ..කිවුවම අහල යනවකො අයිසෙ පවු දෙන්නෙ නැතිව... ! බල්ල ලෙහන්නද නැත්තං..ආ..?? "
" නෑ නෑ ..එපා..මේ මම ආවෙ මහ ඉස්පිරිතාලෙ ලේ බැංකුවෙ පණිවිඩේකට..!"
මම ඉක්මනිං කියල දැම්ම..නැත්තං බල්ල කවාගන්ටයි වෙන්නෙ
" එහෙම කියන්ටෙපෑයැ..ඔතනිං ඇතුල්වෙලා ඉස්සරහට යන්ට.. මං මහත්තයට කෝල් කරල කියන්නං"
මහත්තය හම්බෙන්ට ගියාට මොකද මයෙ පපුව වී කොටන්නැහෙ දහ් දහ් ගානව. මාව එලෝගන්නව සිකුරුයි..මේවගෙ වැදගත් මහත්තැං අපි වගේ අසරණයන්ට උදවු කොරාවියැ!
මං යනකොට ඒ මහත්තෙය ගරාජ් එකෙන් වාහනේ එළියට අරං යන්ට වගේ ලෑස්තිය..දුවගෙන ගෙහුං විස්තරේ කිවුව!!
හොඳට ඇහුංකං දීගෙන හිටිය මහත්තය..පෝං එක ඇරං අංක වගයක් ඔබල මොනවද සුරු සුරු ගෑව..
පස්සෙ මට කීව නගින්නකො කාරෙකට කියල,
මං ඉතිං තක්කු මුක්කු වෙලා ඉන්නකොට මහත්තය දොර ඇරල දුන්න. ඉක්මනිං ඇවිත් නැවැත්තුවෙ ලේ බැංකුව ගාවමයි!
....................................මගෙ ඉස්සෙරහම හාංසිවෙලා ඉන්න මහත්තයගෙ සුදුපාට අතින් රත්තරන්පාට ලේ බිංදු බටේ දිගේ ඇවිත් බෑග් එහෙකට පිරෙනව. බෑග් එකේ තියෙන ලේ ඇත්තටම මං දැක්කෙ රත්තරං පාටට.
ඔවු ,ඒව ඇත්තටම රත්තරන් ලේ!!!!!
මහත්තය ලේදීල ඉවරවෙලා එනෙකොට මං එයැයිගෙ කකුල් දෙක අල්ලල වැන්දෙ මයෙ ඇස්වල කඳුලු පුරෝගෙන.
ඒ මහත්තය ලේ දුන්නෙ පාලොස්වැනි වතාවට කියල මිසී කෙනෙක් කියනව මට ඇහුණ.
" අනේ රත්තරං මහත්තය , බුදු වෙන්ටෝනෙ "
...........................................ආයි!! අඹ මුලේ හිටපු දළ කඩියෙක් කකුළ කෑව. ඒකෙන් මේකෙන් මගේ හිතුවිලි ගංගාවත් විසිරිල ගියා. හප්පා පැයක් විතරම කල්පනා කොර කොර හිටිය නෙව!!
ලේ බැංකුවෙන් දුන්න පාට කොළ කෑල්ල ඊයෙ සාක්කුවට දාගත්තු ගමන් නොවැ! බලමු මොකද්ද කියල
"ස්වේච්ඡා අඛණ්ඩ රුධිර දායකයා ජාතික සම්පතකි"
"වයස අවුරුදු 18ත් 60ත් අතර බර කිලෝ 50 ට වැඩි නිරෝගී ඔබ රුධිර පරිත්‍යාගයට සුදුසුය"

හප්පේ..යන්ට ඕන ..අම්ම මඟ බලං ඇති!...මේ කරදර ටිකක් තුනී උනාම මාත් එනව ලේදෙන්ට..නිකම්ම ලේ නෙමෙයි ...රත්තරං ලේ!!!!!!!

සුනාමි සිරප්....

{ Tuesday, October 05, 2010 දින ඉන්දික විසින් ලියන ලදී. }


අද මම මේ කියන්න යන කතාව ටිකක් විතර පරණ , ඒත් මතක් වෙද්දිත් හීන් හිනාවක් මූණට වැටෙන තාලෙ එකක්.
යාලුවන්ට මතකයිනේ අපේ රටට ආපු සුනාමිය. ඔන්න ඉතින් සුනාමිය අපේ රට තොට බලල ගියායින් පස්සෙ අපේ ඉස්පිරිතාල වල තිබ්බ බේත් හේත්, පුලුන්, බැන්ඩේජ්, ප්ලාස්ටර් ආදී මෙකී නොකී එකී, පෙරකී සියලුම ජාති පොදි පටවල ගෙනිච්ච නෙව සුනාමියෙන් විපතට පත්වෙච්චි අසරන අයගෙ ජීවිත රැකගන්න. ඉතිං ඔය කාලෙ අපේ වාට්ටුවෙත් Drug Cupboard, Dressing Cupboard හෙම සුනාමි ගහල වගේ හිස්වෙලයි තිබුනෙ.
හැබැයි ඉතින් ඔය විදියට මාසයක් දෙකක් ගියැයි කියමුකෝ..මෙන්න බොලේ සුනාමි ආධාර කියල ජීවිතේට දැකල නැති බේත්වර්ග, කෑම වර්ග, සිරප් වර්ග ,Dressing වර්ග අටෝ රාසියක් ඉස්පිරිතාල වලට ලැබෙන්නට පටං ගත්ත.
ඔන්න ඔයාකාරෙට ලැබිච්ච සිරප් වර්ගයක් ගැන තමා අද කතාව!!
දවසක් උදේ, මගේ බෙහෙත් දෙන වෙලාවෙ අපේ වැඩකරන ළමයෙක් දුවගෙන ඇවිල්ල , හති දදා මට කියනව
"ඉන්දික මහත්තයො, අද මල්ටි විටමින් සිරප් වගයක් ඇවිල්ල Indoor එකට"
"ආ එහෙමද?" මම ඇහුව
"ඒව හරි හොඳයිලු, සුනාමි ආධාරලු, අන්න අපේ කට්ටිය පොරකනව ඒව ලියවගන්න OPD එකේ. මමත් හෙන කට්ටක් කාල එකක් ලියෝගත්ත"
මට ඔය මල්ටි විටමින් ගිල දැමීමේ නවීන විලාසිතාමය රෝගය වැළඳිලා නැති හින්ද මට ඒක එච්චර වැදගත් සිද්ධියක් වුනේ නැහැ.
මම ඉතින් " අනේ මට නම් ඕනෙ නෑ" කියල උත්තර දුන්න.
පස්සෙ ආරංචි වුනා ඩිස්පැන්සරියට ආව මල්ටිවිටමින් සිරප් බෝතල් 50 ම උණු කැවුම් වගේ රෝහලේ අයම බෙදාගත්තැයි කියල.
ඔන්න ඊළඟ සතියෙ තවත් සිරප් ලොට් එකක් ඉස්පිරිතාලෙට ලැබුණ. බෙදාගන්න ඕන අය ඇතිපදම් බෙදාගත්තු හින්දද කොහෙද මේව නම් වාට්ටුවල ලෙඩ්ඩුන්ටත් දෙන්න කියල හම්බවුනා.
මම ඉන්න වෙලාවක තමයි ඉස්සෙල්ලම ඔය සිරප් එක අපේ වාට්ටුවට ගෙනාවෙ
ෂා..හරිම ලස්සන බෝතලයක්..හරියට වයින් බෝතලයක ෂේප් එක තියෙන්නෙ. මම ඉතින් පොඩ්ඩක් මේකෙ ලේබල් එක කියවල බැලුව.
ඔවු ඔවු, මල්ටි විටමින් වර්ගයක් නේ..විටමින් වලට අමතරව ඔය ක්ෂුද්‍ර පෝෂක වර්ග(Zinc වගේ) තියෙනව.. ඒත් ඉතින් මේක කොහෙද හදල තියෙන්නෙ....????
අනේ අපොයි, මේ ලේබල් එකේ වත් බෝතලේ බඳේවත්, මූඩියේ වත් නිෂ්පාදිත රටක් ගැන කිසිම සඳහනක් නෑ!
ඒ විතරක් ද? Batch Number එකක්, තියා අඩුම ගානෙ Expiry Date , Manufacturing Date වත් නැහැ!!!
ඇත්තම කීවොත් ඕනෙ කරන මොන කෙහෙල්මලක් වත් නෑ!!
මම ඉතින් මේක අනිත් අයටත් කියල හැමෝම බෝතලේ පෙරල පෙරල බැලුව..හැමෝගෙම උත්තරේ නෑ නෑ නෑ තමයි ඉතින්!
පස්සෙ අපි ප්‍රධාන අවුෂධවේදී මහත්තයට කතාකරල මේගැන විස්තර ඇහුව. අපරාදෙ කියන්න බෑ ඔන්න එතකොට තමයි මනුස්සයත් මේ ගැන දන්නේ..( හරී ෂෝක් :( )
කොහොම වුනත් Expiry Date නැති බෙහෙතක් අසරණ ලෙඩුන්ට දෙන්න බැහැනේ. අපි මේව ටික ඔක්කොම ආපහු යැවුව ඩිස්පැන්සරියට.
අපේ මේ කළබගෑනිය අනිත් වාට්ටුවලටත් ගිහිල්ල ඔන්න,
දැන් තමයි හොඳම හරිය...ගිනි ඇවිලිලා..කාටද???
ඇයි අර ඉස්සෙල්ල ආව ලොට් එකේ සිරප් බීපු ඇත්තන්ට
මේ ගොල්ල..හොඳටම බය වෙලා..ඇයි අප්පා සමහරු ළමයින්ටත් බොන්න දුන්නලු!
කතාව එච්චරයි..
ලෙඩ්ඩුනට අයිති දේවල් අයුතු විදියට උස්සගෙන යන මිනිස්සුන්ට ස්වභාවධර්මය දීපු අපූරු දඬුවමක් හැටියටයි මම මේක දකින්නෙ>
ප.ලි.
(මගෙන් අහනවද බීපු උන්ට මොකෝ උනේ කියල..?? මොකුත් උනේ නෑ..හැබැයි විඳෙවුව සෑහෙන කාලයක් බයේ!!)