පවුකාර අම්මා....

{ Monday, September 05, 2011 දින ඉන්දික විසින් ලියන ලදී. }


අම්මෝ...අනේ බඩ රිදෙනවා...ආයි.......
අනේ බුදු මිසී මාව බේරගන්න..අනේ...
"ගේන්න ගේන්න ඔය දරුවව ඉක්මනට...කෝ කෝ..ඔය ඇඳට ගන්න"
"අනේ බලන්න මිස් මේ ට්‍රොලිය හැමතැනමත් එක්ක ලේ...පවු අප්පා..."
පුංචි දැරිවියක්...වයස අවුරුදු 16 යි
නම...... නිෂානි
"කෝ මේ දරුවගෙ බාරකාරයො?..."
"මම මෙයාගෙ අම්ම මිසී..."
"මොකද උනේ? වැටුනද?.....""පොඩි මිස් ඉක්මනට ඩොක්ටර්ට කියන්න...බලන්න ලෑස්තිකරන්න මෙයාව"
"නෑ මිසී වැටුනෙ නෑ...මාස් ලේ යනව වැඩියි...ඒකයි ගෙනාවෙ!!"
"හ්ම්...හොඳයි, ඔය අම්ම වාඩි වෙලා ඉන්නකෝ එළියෙන්"

තරමක් විවේකීව ...වාට්ටුව තිබුන සති අන්තයක තමයි නිෂානි වාට්ටුවට ගෙනාවෙ. යෝනි මාර්ගයෙන් ලොකු රුධිර වහනයකුත් එක්ක, වේදනාවෙන් කෑ ගගහ තමයි ලෙඩා හිටියෙ.

අම්මල නම් කිවුවෙ මාස් ශිද්ධිය හැදිල ලේ නවතින්නෙ නැතුව දුවව ඉස්පිරිතාලෙට ගෙනාව කියල.
ඒත් ලෙඩාව පරීක්ෂා කළාම එයා ගබ්සාවක් කරගෙනයි කියල සැකයකුයි මතුවුනේ..

"මිස්..මේ ලෙඩාගෙ HCG එකක් බලමුද?"
"හොඳයි ඩොක්ටර්"
ඔය බලන්න කිවුවෙ ලෙඩාගෙ මුත්‍රා වල HCG ( human chorionic gonadotropin) කියන හෝමෝනය තියනවද කියලයි. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් මේ පරීක්ෂණය Positive වෙනව.
"ඩොක්ටර් HCG Positive, !! Septic Abortion එකක් වත්ද?"
"ඔවු ඔවු...එහෙම තමයි...අපි ඉක්මනට Theater ගමු, පොඩ්ඩක් මේ ළමයගෙ අම්මගෙන් විස්තර අහල බලමුද?"

"අම්මා...මේ දරුව ඉස්කෝලෙ යනවද?"
"යනව මිසී..."
"කීයෙද ඉන්නෙ?"
"එකොලහෙ පන්තියෙ"
"අම්ම මට ඇත්ත කියන්න...මොකද උනේ"
"අනේ නෝනො ඇත්තමයි කිවුවෙ...මාස් ලේ......................"
ඔය වෙලාවට තමයි අර රතුකට්ටද මොකක්ද එක පනින්න ආසන්න තත්වෙට එන්නෙ..
" මේ ළමය ජීවත් වෙනව දකින්න ඕනෙද..තමුන්ලට?,ම්ම්ම්...ළමයගෙ ජීවිතේ අනතුරේ තියෙන්නෙ, ඇත්ත නොකීවොත් අපිට නම් වගකීමක් ගන්න බැහැ"

හැබැයි මේ වෙනකොටත් නිෂානිව ඔපරේෂන් එකට ශල්‍යාගාරයට යවලයි තිබුනෙ...ඒ ERPC(Evacuation of Retained Products of Conception) කියන ශල්‍යකර්මය කරන්න.ඔය කට්ටිය කියන්නෙ "බඩ හෝදනවයි" කියල.
ඔන්න එහෙම කීවම නම් අර මනුස්සය බය වුනා..
"අනේ නෝනා මම බයටයි කීවෙ නැත්තෙ..අයියෝ..මගෙ දරුවට අමාරුද?"
" දැන් අඩුවෙයි ඔපරේෂන් කාමරේට යවලයි ඉන්නෙ...මට කියන්න ඔයාල මොකද කරගත්තෙ කියල, මොකද මේ දරුවට බෙහෙත් දෙන්න ඒ දේවල් වැදගත් වෙනව"
"අනේ මිසී, මෙයාට කරදරයක් වුනා...මෙයාගෙම බාප්පගෙන්...අපි ඉතින් දැන ගත්ත ගමන් ඉවරයක් කරල දැම්ම"
"ඉවරයක් කරල දැම්ම...අම්මගෙ මුණුපුරාවනේ නේ...ද?,හරි ෂෝක්...තව ඩිංගෙන් දුවවයි මුණුපුරායි දෙන්නම ඉවරයක් වෙනව"
"කොහෙන්ද ඔය ඉවරයක් කරල දැම්මෙ..කවුද කළේ?"
"******** තමයි ඒ වෙද මහත්තය ඉන්නෙ...අපිට කිවුව මොනව වුනත් ඉස්පිරිතාලෙ යන්න එපා, දවසකින් විතර ලේ යන එක නවතී කියල."
"ෆුහ්.ඉතින් මෙහෙ ආවෙ?"
"අනේ අපි දවසක් බැලුව මිසී, එන්න එන්න ලේ වැඩිවුනා....ඒකයි ආවෙ..:"
"මදැයි, හොඳ වෙලාවට තමුන්ල දරුවව අරන් ආවෙ"

ඉතින් ශල්‍යකර්මයෙන් පස්සෙ නිෂානිව වාට්ටුවට ගෙනාව. බොහොම අහිංසක පෙනුම තියෙන පොඩි දරුවෙක්.

නීතියෙ විදියට නිෂානි බාල වයස්කාරයෙක් හින්ද, සම්පූරණ වැරද්ද අර බාප්ප කියන කාළකන්නි මිනිහට පැටවෙනව.
ඇයි මිනීමැරුමක වගකීම , අර අවාසනාවන්ත අම්මටත් පැටවෙනව නේ!!
කොහොම වෙතත්...පොළිසියට මේ සිද්ධිය රෝහලෙන්ම දැනුම් දෙනවනේ....
නිෂානි රෝහලෙන් යන්නත් කළින්ම අර නරුම බාප්පගෙ දෑතට මාන්චු වැටුන එක අහන්න අපි වාසනාවන්ත වුනා!!
ඉතින්...පසුව ආරන්චි වෙච්චි තොරතුරු අනුව අම්මත්, මේ සම්බන්දෙට කැමැත්ත දීල තිබුනයි කියලයි ඇහුනේ..
තමන්ගෙ ආරක්ෂාවට, ඇස් දෙක වගේ ආදරේ, අම්ම....තමන්ගෙ දුවව මේ වගේ තත්වයට දැම්මනම්..තවත් ඒ ගැන කුමන කතාද...නේ ද?
වැටත් නියරත් ගොයම් කා නම්- කාට පවසම් ඒ අමාරුව..!!

(මේකත් මගේ යෙහෙළියකගේ අත්දැකීමක්...පහසුවට මේ විදියට සටහන් කළා..)